AFC Banner
Empty Ad
Empty Ad

තුන් කොන් පෙමක් ජීවිත දෙකක් වැනසූ ඛේදවාචකයේ මෙතෙක් හෙලි නොවූ රහසක් හෙලිවෙයි

ළාබාල වියේදීම ප්‍රේමයෙන් මුසපත් වන ඇතැම් යොවුන් පෙම්වතුන්ගේ ජීවිත බොහෝ දුරට නිමා වන්නේ මහ ඛේදවාචකවලිනි.

ආදරය යන අකුරු හතරේ අරුතවත් නොදත් මෙම ළාබාල පෙම්වතුන්ගේ ජීවිත ඉබාගාතේ යන්නේ ඔවුන්වත් නොදැනය.

සමාජය ගැන හරි හැටි අවබෝධයක් නැති ඔවුහු අවසානයේ සිය ජීවිත පිළිබඳ පසුතැවිලි වෙති.

මේ නිසා අත්වන ප්‍රතිඵල ඉතා භයානකය. ආදරයත් රාගයත් පටලවා ගන්නා මෙවැන්නන් තුරුණු වියේදීම සිය ජීවිත අකාලයේ අහිමි කරගැනීම ඇත්තෙන්ම කනගාටුවට කරුණකි.

කඩවත පොලිස් වසමෙන් ඉකුත්දා ඇසුණු මේ කතාවද එවැන්නකි. මෙය ඇත්තෙන්ම තුන්කොන් ආදරයක ප්‍රතිඵලයකි. සිද්ධිය වාර්තා වන්නේ කඩවත පොලිසියට නුදුරුව පවත්වාගෙන යන බෝඩිං කාමරයක් තුළිනි.

කඩවත පොලිසිය පවසන අන්දමට සිද්ධිය වී ඇත්තේ මීට දින අටකට කලියෙනි.

ඒ ඉකුත් 22 වැනිදාය. වේලාව උදෑසන 7.15ට පමණ ඇත. රාගම රෝහලේ පොලිස් මුරපොළෙන් කඩවත පොලිස් ස්ථානය වෙත කරන ලද දැනුම්දීමකි. ඉන් කියැවුණේ ගෙලට එල්ල කළ තියුණු පහරකින් බරපතළ තුවාල ලබා අලුයම් කාලයේ රාගම රෝහලට ඇතුළත් කළ තරුණයකු ඊට සුළු වේලාවකට පසුව මියගිය බවය.

තවදුරටත් තොරතුරු විමසීමේදී රෝහල් පොලිසිය කීවේ බරපතළ තුවාල ලැබූ එම තරුණයා අසල්වාසීන් විසින් 1990 ගිලන් රථයක් මඟින් රෝහලට ඇතුළු කළ බවය. එමෙන්ම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කඩවත, ගෝනහේන පදිංචි රාජු මධුසංඛ නමැති විසි හැවිරිදි අයකු බවද රෝහල් පොලිසිය කඩවත පොලිසිය දැනුවත් කරමින් කියන්නට විය.
ඒ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සිද්ධිය ඇති වූ නිවෙසේ හිමිකරු එරංග නමැත්තාද පොලිසියට පැමිණිල්ලක් යොදා තිබිණි.

රෝහල් පොලිසියේ දැනුම්දීම මත කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායම වෙත භාර කෙරිණි.

එම විමර්ශනවලට අනුව රාජු මධුසංඛ නමැත්තාගේ ගෙලට වීදුරු කටුවකින් ඇන ඔහු මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට මියගිය අයගේම ඥාති සහෝදරයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂක නිරෝෂන් ඇතුළු කණ්ඩායමට හැකිවිණි.

“මම හිතුවේ නැහැ සර්… එයා මැරෙයි කියලා. සර්ලා කිව්වට පස්සේ තමයි මම එයා මැරිලා කියලා දැනගත්තේ අනේ ..සර්….”

අත්අඩංගුවට ගත් සැකකාර ඉමේෂ් නමැත්තා පොලිසිය ඉදිරියේ එසේ පැවසුවේ සිය ඥාති සහෝදරයාගේ බෙල්ලට ඇනීම සඳහා උපයෝගී කරගත් වීදුරු කටුවද අපරාධය සිදුවූ ස්ථානයට ගොස් අහුලා නිලධාරීන් අතට ලබා දෙමින්ය.

“හරි දැන් අපිට කියපන්කෝ මොකක්ද වුණේ? ඇයි උඹ උෟව වීදුරු කටුවෙන් ඇනලා මැරුවේ කියලා”

පොලිස් පරීක්ෂක නිරෝෂන් සැකකාර ඉමේෂ්ගෙන් විමසන්නට විය. තුන්කොන් ප්‍රේමයේ සුලමුල හෙළි වන්නේ ඉන් පසුවය. මොවුන් අතර ඇති වූ ප්‍රේමයට මැදි වී සිටියේ පහළොස් හැවිරිදි දැරියකි.

පොලිසිය පවසන අන්දමට සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

වින්ධ්‍යා, කඩවත ඉහළ බියන්විල පදිංචිකාරියකි. සහෝදරයෙක් හා සහෝදරියන් දෙදෙනකු ඇයට සිටින්නීය. කඩවත ප්‍රදේශයේම මහා විද්‍යාලයකින් සිප්සතර හැදෑරූ වින්ධ්‍යා දහය වසර දක්වා එම විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවාය.

කෙසේ වෙතත් ඇගේ මවුපියන් ජීවත්වන්නේ වෙනමය. පියා මව හැරදා සිටී. ඒ නිසා ඇය හැදී වැඩුණේ මිත්තණිය ළඟය. මේ අතරතුර ඇය තරුණයකුට පෙම් බැන්දාය. ඒ රාජු මධුසංඛය. දෙදෙනා ප්‍රේමයෙන් වෙළී සිටියද ඇය ළාබාල යුවතියක් වූවාය. දෙදෙනාගේ ප්‍රේමය ඇරැඹී ඇත්තේ මීට වසර තුනකට පෙරය. 2019 වසරේදීය.

කෙසේ වෙතත් වින්ධ්‍යා හිතුවක්කාර චරිතයක් ඇත්තියක වූවාය. ඇති වූ ආරවුලක් මත මව කළ පහරදීමක් නිසා ඇය ගෙදරින් පැන ගියාය. ඊට හේතුව වූයේද ඇය හා මධුසංඛ අතර ඇති වූ සිදුවීමක් මවගේ කනට වැකීමය. අවසානයේ ඇය මිතුරියකගේ මවකගේ නිවෙසක නතර වූවාය. ඒ අත්තම්මාද ඇය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසාය.
ඒ වන විට ළාබාල වියේ පසුවීම නිසා අධිකරණය ඇය මීගමුව ප්‍රදේශයේ පරිවාස ආයතනයකට භාර කළේය.

කෙසේ වෙතත් මෙලෙස පරිවාස ගත කිරීම නිසා ඇයට මධුසංඛ සමඟ ප්‍රේම සබඳකම දිගටම පවත්වාගෙන යෑමට නොහැකි විය. ඒ නිසා ඇය පරිවාසය තුළ සිටියේ සිත් තැවුලෙන්ය. එලෙස දිගටම පරිවාසයේ කාලය ගත කිරීමට නොහැකි වූ තැන ඇය පරිවාසයෙන් පැන්නාය.

පරිවාසයෙන් පැනගත් ඇය කෙළින්ම පැමිණියේ මිතුරියගේ මවගේ නිවෙසටය. වින්ධ්‍යා මිතුරියගේ මව අමතන්නේ නැන්දේ කියාය. වින්ධ්‍යා පරිවාසයෙන් පැන ඒම ගැන නැන්දාද මහත් අපහසුතාවට පත්වූවාය. ඇය මේ බව වහා පොලිසියට දන්වා සිටියාය. පොලිසිය වින්ධ්‍යා යළි කුදලාගෙන ගොස් නැවතත් පරිවාසයට දැම්මේය.

මේ වන විට මධුසංඛත් ඇයත් අතර තිබූ ප්‍රේමයද නතර වී කාලයක් ද ගත වී ගොසිනි. එහෙත් දෙදෙනා අතර තිබූ ප්‍රේමය වියැකී ගොස් තිබුණේ නැත. වින්ධ්‍යාට මධුසංඛ දැකගන්නට හෝ ඔහු ගැන තොරතුරක් නොවූ තැන ඇය කල්පනා කළේ නැවතත් පරිවාසයෙන් පැන යෑමටය. මධුසංඛටද ඇය ගැන තොරතුරක් දැන ගන්නට නොහැකි වූයේ ඇය මීගමුව ප්‍රදේශයේ පරිවාසයක නතර කර තිබීම නිසාය.

අවසානයේ කෙසේ හෝ ඇය පරිවාසයෙන් නැවතත් පැන ගත්තාය. එහෙත් ඇයට මධුසංඛ මුණ ගැසුණේ නැත. ඒ වෙනුවට ඇයට හමුවූයේ මධුසංඛගේම ඥාති සහෝදරයකු වන ඉමේෂ්ය. ඉමේෂ්ට වයස අවුරුදු 19කි. දෙදෙනා ඥාති සහෝදරියන්ගේ පුතුන්ය. මධුසංඛගෙන් මිදුණු ඇය ඉමේෂ් සමඟ ප්‍රේම සබඳතාවකට මුල පිරුවාය. අවසානයේ ඇය ඉමේෂ් සමඟ තැන්තැන්වල රැඳුණාය. පැරැණි පෙම්වතා අමතක කළ ඇය අලුත් පෙම්වතා සමඟ ප්‍රේමයෙන් වෙළුණාය.

කාලය මෙසේ ගෙවී ගියේය.

“එයා මට කිව්වා යන්න තැනක් නැහැ කියලා. පස්සේ මම එයාව ගෙදරත් එක්කරගෙන ගියා. ගෙදර ඉන්න බැරි නිසා එයාව තවත් යාළුවකුගේ ගෙදර නතර කළා. එහිදි ඇතිවුණු සිත් අමනාපයකින් පස්සේ මම එයාව කඩවත ඇන්ඩෘෘ පාරේ බෝඩිම් ගෙදරක නතර කළා. බෝඩිමේ අයිති කෙනා මම පොඩිකාලේ ඉඳලම හඳුනනවා. එයා ඒ නිසා බෝඩිම දෙන්න කැමැති වුණා. මාසයකට රුපියල් 5000ක් ගෙවන්න පොරොන්දු වුණා.

“එදා 19 වැනිදා මම එයත් එක්ක එදා රෑ බෝඩිමේ හිටියා. පසුවැනිදා උදේ මම රස්සාවට ගියා. මම වැඩ කළේ වැලිපැන්න පැත්තේ. රස්සාවට ගිය නිසා මට කෙල්ලව බලන්න යන්න බැරි වුණා.”ඉමේෂ් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඉදිරියේ සිදුවූ දේ එසේ කියන්නට විය. ඉමේෂ් හා වින්ධ්‍යාද කුඩා කාලයේ සිට දැන හඳුනන අය වූහ.

විසිවැනිදා ඉමේෂ් සිටියේ වැලිපැන්නේ වැඩපළේය. වින්ධ්‍යා කඩවත බෝඩිමේය.

“ඒයි සංගීතයක් තියෙනවා අපි යනවා උඹත් එනවද” ඉකුත් 21 වැනිදා මිතුරියක් ඇගෙන් විමසුවාය. ඇයද ඊට කැමැත්තක් දැක්වූවාය.

“කොහෙද තියෙන්නේ”

“ගනේමුල්ලේ”

ඇය ඒ සම්බන්ධයෙන් සිය අලුත් පෙම්වතා වූ ඉමේෂ්ටද කීවාය.

“මමත් යන්නද සංගීතේ බලන්න”

“කොහෙද තියෙන්නේ”

“ගනේමුල්ලේ ග්‍රවුන්ඩ් එකේ”

“කාත් එක්කද යන්නේ”

“මෙහේ දෙතුන් දෙනෙක්ම යනවා”

“හරි එහෙනම් පරිස්සමින් ගිහින් එන්න” ඉමේෂ්ගෙන්ද අවසර ගත් වින්ධ්‍යා, මිතුරියන් දෙතුන්දෙනකු සමඟ ගනේමුල්ලට ගියේ සංගීතය බලන්නටය. ගනේමුල්ල, ගල්හේන ක්‍රීඩාපිටියේ සංගීතය ජයටම පැවතිණි.

කෙසේ වෙතත් වින්ධ්‍යාගේ ගමන ගැන ඉමේෂ්ට එතරම් සතුටක් දැනුණේ නැත. ඇය සංගීතය බලන්න ගියේ කා සමඟද යන්න දැන ගැනීමට ඔහුට අවශ්‍ය විය. එනිසාම ඔහු වරෙක ඇයට සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ඇමතුමක්ද ගත්තේය.

“මම එකපාරක් වීඩියෝ කෝල් එකක් ගද්දී එයා ආන්සර් කළා. මම දැක්කා එයත් එක්ක තව කට්ටිය ඉන්නවා. ඒ නිසා මට සැකයකුත් ආවා. ඉන් පස්සේ මම එයාට දිගටම කෝල් ගත්තා. ඒ එකකටවත් එයා ආන්සර් කළේ නැහැ. එස්.එම්.එස්. ගත්තා ඒවා බලලා තිබුණා. ඒත් මට උත්තර දැම්මේ නැහැ. මට එයාගේ ලොකු වෙනසක් පෙනුණා.”

“ බැරිම තැන මගේ යාළුවෙක් ඉන්නවා සජිත් කියලා. එයාට කෝල් කළා. එයාගෙන් මම ඇහැව්වා කොහේද ඉන්නේ කියලා. සජිත් කිව්වා සංගීතේ බලන්න ආවා කියලා. මම ඒ පාර එයාට කිව්වා වින්ධ්‍යාත් කට්ටියක් එක්ක සංගීතේ බලන්න ඇවිත් තියෙනවා. උඹ පොඩ්ඩක් බලපන් ඒකි කාත් එක්කද ඉන්නේ කියලා”

ඉමේෂ් සිය මිතුරා වූ සජිත්ට එලෙස කීවේ සිතේ වූ සැකයද නිසාමය.

එහෙත් මේ වන විට ඉමේෂ් නොදත් දෙයක් සංගීතයේ සිදුවීමෙන් තිබිණි. ඒ කලක් වින්ධ්‍යාට පෙම් බැඳි මධුසංඛ නැවත ඇයට මුණ ගැසීමය. මධුසංඛද සංගීතේ බලන්නට පැමිණ සිටියේය. එහෙත් සංගීතේදි තම පරණ පෙම්වතිය හමුවෙතැයි ඔහු හීනෙකින්වත් සිතන්නට නැත. ඒත් එය අහම්බෙන් සිදුවිණි.

සජිත් සිය මිතුරා වූ ඉමේෂ්ට දුරකථන ඇමතුමක් දුන්නේ ඔය අතරය.

“මචං වින්ධ්‍යා කොල්ලෙක් එක්ක ග්‍රවුන්ඩ් එකේ නටනවා”

සජිත්ගේ පිළිතුරෙන් ඉමේෂ්ට උන්හිටි තැන් අමතක විය. ඔහු ඇමතුම් සිය ගණනක් ගත්තද ඒ කිසිවකටත් වින්ධ්‍යා පිළිතුරු දුන්නේ නැත. ඉමේෂ්ගේ ‘මල’ හොඳටම පැන තිබිණි. ඔහුට සිය පෙම්වතිය ගැන ඇති වූයේ තරහකි.

රස්සාව අතහැර දමා ඒ මොහොතේම සංගීතය පැවැති ස්ථානයට යන්නට ඔහු තීරණය කළේය.

“මම වැලිපැන්නේ ඉඳලා බස් එකකින් කඩවතට ආවා සර්”

“එතකොට වෙලාව කීයට විතරද” ස්ථානාධිපතිවරයා ඔහුගෙන් ප්‍රශ්න කළේය.

“පාන්දර තුනට කිට්ටුයි සර්. දෙකයි පනහට විතර මගේ හිතේ.

“ඉන් පස්සේ මොකද වුණේ”

“මම ගියා සර් ගනේමුල්ලට. ගල්හේනේ සංගීතේ තිබුණු තැනටත් මම ගියා. එතකොට සංගීතේ ඉවර වෙලා ග්‍රවුන්ඩ් එකේ කවුරුත් නැහැ”

“පස්සේ මම ඒකිව හොයාගෙන ඇන්ඩෘෘ ලේන් එකේ බෝඩිමට ගියා. බෝඩිමේ ‍ෙදාර වහලා තිබුණේ. ඒක වීදුරු දාපු ලී ‍ෙදාරක්. මම බෝඩිම ළඟ වාඩිවුණා. මට ඇහුණා වින්ධ්‍යා තව කාත් එක්කද කතා කරනවා. හිනා වෙනවා.”

“ඊට පස්සේ මම මගේ ෆෝන් එකේ ටෝච් එකේ ලයිට් එක ඔන් කරලා වීදුරුව පැත්තට ගැහැව්වා. එතකොට මට ඇහුණා වින්ධ්‍යා කියනවා අයියා ඇවිල්ලා වගේ කියලා. ඒත් එක්කම මම ‍ෙදාරේ තියෙන වීදුරුවකට පයින් ගහලා ‍ෙදාරේ වීදුරුව කඩලා කාමරය ඇතුළට ගියා. වීදුරු කටු කාමරේ ඇතුළට වැටුණා. එතකොට තමයි මම දැක්කේ වින්ධ්‍යායි තව කොල්ලෙකුයි ඇඳුම් නැතිව කාමරේ ඉන්නවා. ඒ කොල්ලා මම හඳුනනවා” ඉමේෂ් එසේ කියමින් බිම බලා ගත්තේය.

“කවුද උෟ”

“එයා මධුසංඛ සර්. මගේම ඥාති සහෝදරයා”

“දෙන්නම ඇඳුම් නැතිවද හිටියේ”

“ඔව් සර්”

“ඉන්පස්සේ උඹ මොනවද කළේ”

“මොනවා කරන්නද. මම සහෝදරයා කියලා බැලුවේ නැහැ. උෟට ගැහැව්වා. උෟ මාව තල්ලු කළා. මම වීදුරු කටුගොඩ උඩ වැටුණා”

“ඉන්පස්සේ”

“පස්සේ මම බිම වැටිලා තිබුණු වීදුරු කෑල්ලකුත් අතට අරන් තමයි නැඟිටලා උගේ බෙල්ලට ඇන්නේ”ඉමේෂ් පොලිස් නිලධාරීන් ඉදිරියේ කියාගෙන ගියේය.

“ඉන් පස්සේ කට්ටිය පිරුණා. බෝඩිමේ අයිතිකාරයා ඇවිත් ඉක්මනට වාහනේ අරන් වරෙන් කිව්වා. මම පාරට දිව්වා. මගේ පස්සේ වින්ධ්‍යාත් ආවා. මම ඒකි දිහා බැලුවේ නැහැ. මම පාර දිගේ දුවගෙන ඇවිත් ත්‍රීවීලර් එකක නැඟලා අපේ ගෙදරට ආවා. එතකොට තමයි සර්ලා ඇවිත් මාව අල්ලගත්තේ”

“එතකොට කෝ උෟට ඇනපු වීදුරු කෑල්ල”

“ඒක එතන ඇති සර්. ඒකේ ලේ තිබුණා මම දැක්කා”

පොලිසිය සැකකාර ඉමේෂ්ගේ දෑතට මාංචු දමා ඉන් අනතුරුව ඔහුගේ ප්‍රකාශයක්ද ලබාගත්තේය.

“මම වැරැද්ද පිළිගන්නවා සර්”

“ඒක උසාවිය බලාගනීවි”

පොලිසිය පවසන්නේ සැකකරු සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ ළාබාල තරුණිය මරණකරු සමඟද ඇසුරක් පවත්වා එම පුද්ගලයා සමඟ කුලී කාමරයේ රැඳී සිටීම දැක ඇති වූ හදිසි කෝපය මත මෙම ඝාතනය සිදුකර ඇති බවය.

ඒ කෙසේ වෙතත් සිද්ධිය ඇත්තක් දැයි තහවුරු කරගැනීම සඳහා පොලිසියට වින්ධ්‍යාගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ ඇගේ ආදරය තරුණ පෙම්වතුන් දෙදෙනකුට බෙදීයෑම නිසා මෙවැන්නක් සිදුවී ඇත්දැයි දැනගැනීම සඳහාය. ඒ බව විමසා පොලිසිය ඇගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

“2019 අවුරුද්දේ මම මධුසංඛත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූවා. පස්සේ මම මීගමුව, බෝලවලාන ළමා නිවාසයට පරිවාස සඳහා යොමුකරලා තිබුණා. ඒත් මම හොර රහසේම පැනලා ආවා. මාව ආයෙත් භාර දුන්නා. ඒත් මම ආයෙමත් පැනලා ආවා”

“21 වැනිදා කඩවත තිබුණා සංගීත සන්දර්ශනයක්. එදා මධුසංඛත් ඇවිත් මාත් එක්ක කතා කළා. පරිවාසයට ගියාට පස්සේ එදා තමයි මට එයාව හම්බවුණේ. ඊට පස්සේ කෝල් එකක් ගන්න කියලා මගෙන් ෆෝන් එක ඉල්ලුවා. මම ෆෝන් එක දුන්නා. පස්සේ මම සංගීතේ බලලා ඉවර වෙලා නතරවෙලා ඉන්න බෝඩිමට ගියා. බෝඩිමට ගියාට පස්සේ මගේ හෑන්ඩ් ෆෝන් එකට මධුසංඛගෙන් කෝල් එකක් ආවා. මම බෝඩිම ගාවට ආවා මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා මධුසංඛ මට කිව්වා. පස්සේ එයා බෝඩිම ඇතුළට ආවා.”

“විනාඩි 15ක් විතර අපි කතා කර කර ඉන්න කොට ඉමේෂ් ආවා බෝඩිමට. එයා බෝඩිමේ ‍ෙදාර කඩාගෙන ආවා. ඉමේෂ් මධුසංඛට තුන්පාරක් ගැහැව්වා. ඉමේෂ් අතේ වීදුරු කට්ටක් තිබුණා. එයා මධුසංඛට ගහන කොට මම එළියට ආවා. මම ‍ෙදාර ගාවට වෙලා බලාගෙන හිටියා. වීදුරු කටුවේ ලේ තියෙනවා දැක්කා. මම අඬ අඬයි හිටියේ. ඉමේෂ් මගේ දැන් පෙම්වතා. එයා දුර වැඩකට ගිහින් හිටියේ. මට බෝඩිම හොයලා දුන්නෙත් ඉමේෂ් තමයි. මම බෝඩිමට ඇවිත් දවස් දෙකයි.”

ඇය පොලිසියට ප්‍රකාශයක් දෙමින් කියා සිටියාය. තුන්කොන් ප්‍රේමයක නිමාව එසේ සටහන් විය.

තරුණ වියේදීම ජීවිත විනාශ කරගත් ඉමේෂ් අද හිරගෙදරය. මධුසංඛ මෙලොව හැර ගොස්ය. ඔවුන් දෙදෙනාටම ආදරය පිදූ වින්ධ්‍යාට අවසානයේ සිදුවූයේ යළි පරිවාසයට යන්නටය. ඒ ඇය තවමත් ළාබාල වියේ සිටීමත් නිසි රැකවරණයක් ඇයට නොලැබීමත් නිසාය.
කීර්ති මෙන්ඩිස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?