spot_imgspot_img
spot_img
SLIC Banner
Empty Ad
Empty Ad

ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අභියෝග ගැන ස්පාඤ්ඤයේ ප්‍රශ්නයකට ජනපතිගෙන් උත්තරයක්

මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අභියෝග සම්බන්ධයෙන් විධිමත් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) පැරිස් නුවරදී ආරම්භ වූ නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සමගාමීව පැවති ඉහළ පෙළේ සාකච්ඡා වාරයට සහභාගී වෙමින්.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති අත්දැකීම් මෙහිදී ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ණය හිමියන් සහ ණය ගැතියන් අතර වඩාත් උසස් ගනුදෙනුවක් ඇති කළ යුතු බවයි පෙන්වා දුන්නේ.

ණය හිමියන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම සහ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකරණය පිළිබඳ ප්‍රසාදය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ක්‍රියාවලිය සඳහා ජපානය සහ ඉන්දියාව යන රටවල් සමඟ සිදු කෙරුණු සාකච්ඡා ද, සංවර්ධන වැඩසටහන් සහ වාණිජ ඒකමිතියක් සඳහා එම රටවල් සහ චීනය ලබාදුන් සහාය පිළිබඳව ද සිහිපත් කරනු ලැබුවා.

දැනට පවත්නා අස්ථාවර භාවය තුරන් කිරීම සඳහා ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු කඩිනම් කළයුතු බවත්, මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණපාන සුවිශේෂ අභියෝග ජය ගැනීම සඳහා වෙනම ක්‍රියාවලියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය පිළිබඳවත් ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළා.

ශ්‍රී ලංකාව මූල්‍ය සහ ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ වැඩපිළිවෙළකට සම්බන්ධ වී සිටින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ප්‍රතිව්‍යුහගතකරණය අත්‍යාවශ්‍ය බවත්, එය කඩිනමින් සිදු නොකළ හොත් පහළ ආදායම් ලබන සහ මධ්‍ය අදායම් ලබන රටවලට දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයන්ට මුහුණදීමට සිදුවන බවයි.

මෙම සාකච්ඡා වටයේ දී එයට නායකත්වය දුන් ස්පාඤයේ (පළමු) නියෝජ්‍ය අග්‍රාමාත්‍ය නාදියා කැල්විනෝ (Nadia Calvino) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සිදු කළ විමසීමකට ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරය පහත දැක්වෙනවා.

ප්‍රශ්නය –

ජනාධිපතිතුමනි, ඔබතුමා ඉන්නේ විශේෂ තත්ත්වයක් යටතේයි. අපි දැන් මධ්‍ය ආදායම් ලබන රටක් පිළිබඳ අවධානය යොමු කරමු. එහිදී විවිධ අභියෝග තිබෙනවා. එසේම ඒවා සාමාන්‍ය තත්ත්වයන් තුළ ඇති නොවූ බවත් අපට වැටහෙනවා. චැඩ් රාජ්‍යය වගේ රටක් ගත්විට එයත් ඔබේ රටේ පවතින තත්ත්වයට සමාන විය හැකියි. ඒ වගේම පැරිස් සමාජය සහ පැරිස් සමාජයේ සාමාජිකයන් නොවන ණය හිමියන්ගේ කමිටුව ඇති කිරීමත්, මෙවැනි ණය හිමියන්ගේ කමිටුවලදී සම සභාපතිත්වය දැරීමට ඉන්දියාව තීරණය කිරීමත් වැදගත් පියවර සේ දැක්විය හැකියි. ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඔබේ අදහස මොකක්ද ?

චැඩ් රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ කථාවට අනුව අපට තේරුම්ගොස් තිබෙනවා රටේ නිලධාරීවාදය සීමා කළයුතු බව. එයට අපි සියලුදෙනා එකඟයි. ඇතැම් සංකීර්ණ දේවල් විසඳිමේ දී සරලභාවය ඉතා වැදගත් වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම අපට කියන්න ?

පිළිතුර –

මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස තිබූ ශ්‍රී ලංකාව බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කළ විට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තිබෙන සාමාන්‍ය රාමුව අපට වලංගු වන්නේ නැහැ. සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අපට තිබූ අවකාශ ඉතා සීමිතයි. ඒ අතරම අභ්‍යන්තර මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ද ඉතාම සීමාසහිත වුණා. මේ අනුව ණය සම්බන්ධ වැඩසටහන් සියතට ගැනීමත්, ණය ප්‍රතිව්‍යුහගතකරණයත් ආර්ථික වර්ධනය සඳහා බලපාන ආර්ථික ප්‍රතිසංස්කරණත් සියතට ගැනීමට අපට සිදු වුණා. ඉන් පසුව තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය හිමියන් සමඟ සාකච්ඡා කිරිමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ.

මෙය හරියටම සමාන වුණේ කිසියම් වට්ටෝරුවකට අනුව වැඩකිරීම සමඟයි. මෙහිදී අප විසින් පවත්වාගෙන යා යුතු දේ සහ ඉවත් කළ යුතු දේ මොනවාද යන තර්කය මතු වුණා. එසේ පවත්වාගෙන යා යුතු සහ ඉවත් කළ යුතු දේවලින් 90%ක පමණ ප්‍රමාණයක් පිළිබඳ අප එකඟත්වයකට පැමිණියා. එසේම වැදගත් තත්ත්වයන් දෙකකට මුහුණදීමට අපට සිදු වුණා.

ඉන් පළමුවැන්න ඉන්දියාව අපේ සහායට පැමිණීම. එය ඩොලර් බිලියන 4ක උපකාරයක්. එම අවස්ථාව වන විට අපට වෙනත් කිසිම සහයෝගයක් ලැබෙන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. දෙවනුව ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා ගැනීමට අපට හැකි වුණා. ඒ අනුව අපේ ඉලක්කය සහනදායී පියවරකට යොමු වුණා.

එහෙත් අප විසින් රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේ සිට පාර්ශ්ව කිහිපයකම නිලධාරීන්ගේ වැඩපිළිවෙළවල තුළ ප්‍රමාදයන් මතු වුණා. ඒ නිසා අපට ප්‍රමාද වීමට සිදු වුණා. එසේ නොවී මැයි මාසය වන විට අපට අරමුදල් ලැබුණා නම් ජුලි මාසයේ දී හට ගත් ප්‍රශ්නකාරී තත්ත්වයන් මගහැරීමට අපට පුළුවන්කම ලැබෙන්නට ඉඩ තිබුණා.

කෙසේ වුවද ජූලි මාසයේ හටගත් ප්‍රශ්නවලට මුහුණදීමට අපට සිදු වුණා. සැප්තැම්බර් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟත්වයකට අප පැමිණියා. එහෙත් වලංගු ගිවිසුම අත්සන් කර මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා එතැන් සිට තවත් මාස 06ක් ගත කිරීමට අපට සිදු වුණා.

ඉන් පසුව අපි ප්‍රමුඛ ආර්ථික ප්‍රතිසංස්කරණවලට යොමුවීමට පටන් ගත්තා. එමඟින් ජනතාවට කිසියම් වේදනාවක් ඇති වුණා. එය කිසිම පුරෝකථනයකින් තොරව හටගත් තත්ත්වයක්. දෙවනුව සභාපති ආචාර්යා මේ තත්ත්වය විග්‍රහ කළ ආකාරය ගැන මම එකඟ වෙනවා. අප එය කළයුතුව තිබුණේ ඉතා වේගයෙන්.

මා කලින් පැවසූ පරිදි කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම පැමිණියේ පසුගිය සැප්තැම්බර් මාසයේදී. නොවැම්බර් වන විට අපට ධනාත්මක සැලැස්මක් තිබුණා. ඒ බව පසුව ප්‍රකාශයට පත් කෙරුණා. ඉන් පසුව ශ්‍රී ලංකාව තුළ ඉතාම තරගකාරී වර්ධනාත්මක න්‍යාය පත්‍රයක් ඇති වුණා.

එබැවින් නිල මට්ටමේ සහ පුද්ගලික මට්ටමේ මූල්‍ය අවශ්‍යතාවයන් වැඩිදියුණු කෙරුණා. මෙහිදී වැදගත් යමක් කිව යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරන ලද සාකච්ඡා අවසන්වීමෙන් පසු තවදුරටත් දීර්ඝ කරන ලද මූල්‍ය පහසුකම් සඳහා සාර්ථක අනුමැතියක් ලැබුණා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඊළග පියවර සම්බන්ධයෙන් නිසි සැලසුමක් අපට තිබුණේ නැහැ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළග මූල්‍ය පහසුකම ලබා ගැනීමට පෙර නිසි සැලසුමක් සකස් කිරීමේ වැඩපිළිවෙළ අපි ඉදිරියේ තිබෙනවා.

කෙසේ වුවද, තවත් අත්දැකීම් කිහිපයක් පිළිබඳ සඳහන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා .දත්ත සහිතව සහ දත්ත අනුව යමින් අප කටයුතු කිරීම අපේ සාර්ථකත්වයට හේතුවෙනවා. අප අනුගමනය කළේ අපේ වැඩසටහන මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නොවෙයි.

පසුව අප නිල ණය හිමියන් වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කිරීමට උත්සාහ කළා. මේ අය අතර පැරිස් සමාජයේ සාමාජිකයන් ද, ඉන්දියාව, හංගේරියාව සහ තවත් රටවල් කිහිපයක් සිටිනවා. මෙහිදී චීනය නිරීක්ෂක මට්ටමින් සහභාගී වුණා. අපි අප සතුව තිබෙන තොරතුරු සියල්ලම උපරිම විනිවිදභාවයක් යටතේ අනෙක් පාර්ශ්ව සමඟ හුවමාරු කර ගත්තා. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම පිළිබඳ මම ස්තූතිවන්ත විය යුතුයි.

ඒ අතර ජපානය, ඉන්දියාව සහ චීනය සමඟ ශ්‍රී ලංකාව වෙන වෙනම සාකච්ඡා පවත්වනවා. ඒ වාණිජ ඒකමිතියක් සඳහායි. එසේම අනාගත සංවර්ධන වැඩසටහන් සඳහාත් සාකච්ඡා පැවැත්වෙනවා.

ඇමරිකාව සහ චීනය අතර වර්ධනය වෙමින් පවත්නා තත්ත්වය පිළිබඳව අප සියලුදෙනා අවධානය යොමු විය යුතුයි. අප මෙම ප්‍රශ්න නිරාකරණයකර ගත නොගතහොත් ආසියාව සහ අප්‍රිකාව තවත් බරපතල අර්බුදයකට මුහුණදීමට නියමිතව තිබෙනවා. මේවා අප දැනට සමනය කරගත යුතු ප්‍රධාන ප්‍රශ්න බව කිව යුතුයි.

ප්‍රතිව්‍යුහගතකරණය අත්‍යාවශ්‍යයි. මා එයට ඉතාමත් එකඟයි. එය ඉතා ඉක්මණින් කළ යුතුයි. එය ඉක්මන් නොකළහොත් පහළ ආදායම් සහ මධ්‍ය ආදායම් ලබන රටවල්වලට දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයන්ට මුහුණදීමට සිදු වෙනවා. කෙතරම් දැඩි පීඩනයක් තිබුණද බංකොළොත්භාවය ලබන්නට පෙර මේ ප්‍රශ්න සමනය කර ගැනීමෙන් විශාල පහසුකවක් ලැබිය හැකි බව කිව යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?