එළඹෙන මාස තුන සඳහා ඉන්ධන සහනාධාර ලබාදීමේ දී ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාර මුදලක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.
අද (30) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමේ බර සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයා මත නොදමා කොටසක් රජය විසින් දරා යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි.
එමෙන්ම මෙම සම්පූර්ණ මිල ඉහළයාමේ බර දරාගැනීමට සමාගම්වලට ද ඉඩ නොදී එම සමාගම්වලටත් යම් සහනයක් සැලසීම මෙම සහනාධාරයේ අරමුණක් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
“රුපියල් 70ක සහනාධාරය සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් වෙන්නේ නෑ එම සමාගම්වල පාඩුව පියවා ගැනීමට. ඒ සමාගම් විසිනුත් කිසියම් මුදලක් මේ අවස්ථාවේ දී දරන්න සිද්ධ වෙනවා.”
මේ අතර මෙම සහනාධාරය ලබාදීමත් සමඟ පෞද්ගලික ඉන්ධන සමාගම් අවම වශයෙන් හෝ තොග නිකුත් කරනු ඇති බව විශ්වාසකරන අමාත්‍යවරයා ඒ සමඟ පවතින ඉන්ධන හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බවයි පැවසුවේ.













