ගල්කිස්ස මුලස්ථාන පොලිසිය විසින් ඊයේ (17) රාත්‍රියේ සිදු කරන ලද වැටලීමදී, සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුර කුඩු සලිඳු නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාලයේ අනුගාමිකයකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, අලුබොමුල්ල පදිංචි යුවලක් වන 34 හැවිරිදි පුද්ගලයෙකු සහ වයස 26 කාන්තාවක්.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් හා මිලි ග්‍රෑම් 55ක් සමග මුදල් රුපියල් ලක්ෂ 63ක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උපයෝගී කරගනු ලබන ත්‍රිරෝද රථයක්, මුදල් ගණන් කිරීමට යොදා ගනු ලබන ඉලෙක්ට්‍රෝනික් යන්ත්‍රයක්, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා උපයෝගී කරගනු ලබන කුඩා තරාදියක් ද පොලිසිය සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගල්කිස්ස මුලස්ථාන පොලීස් පරික්ෂකවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව රත්මලාන ප්‍රදේශයේ ගුවන්තොටුපොළ මංසන්ධියේ සිදු කරන ලද මාර්ග පරීක්ෂාවකදී ත්‍රී රෝද රථයක් නවතා එය පරීක්ෂා කිරීමේදී සුපිරි වෙළඳසැලක බෑගයක අසුරා තිබු ලක්ෂ 63 පමණ මුදලක් සමඟ මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී ඔවුන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුර කුඩු සළිඳුගේ අනුගාමිකයන් බව හඳුනා ගෙන තිබෙනවා.
සැකකරුවන් අද (18) ගල්කිස්ස මහේස්ත්‍රාත්අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.













