AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම තවදුරටත් ප්‍රමාද වුණොත් සරසවිවලට සිසුන් ඇතුලත් කර ගැනීමටත් බාධා

පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද වුවහොත් සරසවිවලට සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාවලියට යම් බලපෑමක් ඇතිවිය හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.

පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද නොකර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉදිරි දින දෙක තුළ ඒ සඳහා ඉදිරිපත් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

මේ වනවිට පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මාස දෙකක පමණ කාලයකින් ප්‍රමාද වී ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද දරුවන්ගේ දෙමව්පියන් හා සමාන පිරිසක් බවත් හෙට දවසේ ඔවුන් මෙම වගකිව යුතු කාර්යභාරය ඉවත නොදමනු ඇති බවත් ඔහු සඳහන් කළා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ (PGIMS) පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළා.

උත්තර පත්‍ර ඇගයීම හා ප්‍රශ්න පත්‍ර සකස් කිරීම විභාග දෙපාර්තමේන්තුව පෞද්ගලිකව ඒ ඒ ආචාර්යවරු සමඟ ඇතිකර ගන්නා අවබෝධතා ගිවිසුමක් යටතේ සිදුවන අතර ප්‍රශ්නවල රහස්‍යභාවය සුරැකීම සඳහා එය එලෙස සිදු කරන බවයි සම්පත් අමරතුංග මහතා පෙන්වා දුන්නේ.

උසස් පෙළ විභාග ප්‍රශ්න සකස් කිරීමේ වගකීම පවරන්නේ කාටද යන්න සම්බන්ධ තීරණ ගැනීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිට හෝ උපකුලපතිවරයාට කළ නොහැකි කටයුත්තක් වන අතර ආචාර්යවරු මෙම කාර්ය සඳහා දායක වන්නේ මුදල් පිළිබද සැලකීමකින් තොරව සමාජ වගකීමක් ඉටු කිරීම සඳහා බවයි හෙතෙම අවධාරණය කළේ.

පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුත්ත සාමාන්‍ය පරිදි සිදු නොවී තර්ක කරන මට්ටමක් දක්වා වර්ධනය වීම කනගාටුවට කරුණක් බවත් දරුවන්ගේ පැත්තෙන් සලකා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට දවසේ තම කාර්යභාරය ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් මහචාර්යවරයා ප්‍රකාශ කළා.

කොවිඩ් සමයේ රට වසා තිබිය දී දරුවන්ට නිවෙස්වල සිට අධ්‍යාපන කටයුතු සිදු කිරීමට පසුබිම සකසා තිබූ බවත් විභාග සියල්ල නිසි අයුරින් පැවැත්වීමට පියවර ගත් බවත් කී ඒ මහතා පෙන්වා දුන්නේ මෙවර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මෙතෙක් සිදු නොවීම හේතුවෙන් සමාජ ගැටලුවක් ද නිර්මාණය වී ඇති බවයි.

ක්‍රමයෙන් ප්‍රශ්නය සුබවාදී ලෙස විසඳෙන ලකුණු දක්නට ලැබෙන අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආචාර්වරුන් ගෙන් ඉල්ලා සිටින්නේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුත්ත සඳහා ඉක්මනින් එක්වන ලෙසටයි.

විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කටයුතු සිදු කරනු ලබන්නේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව වන අතර අයදුම් පත් කැඳවීමෙන් අනතුරුව දරුවන්ට තමන් ඇතුළත් වන විශ්වවිද්යාලය දැන ගැනීමට හැකි වන්නේ වසරක පමණ කාලයකට පසුව බවත් සභාපතිවරයා පෙන්වා දෙනවා.

එම කාල පරාසය අඩුකර ගනිමින් පසුගිය වසරේ අගෝස්තු මස ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු මෙම වසරේ ජනවාරි මාසයේ දී නවක සිසුන් බඳවා ගැනීම ආරම්භ කිරීමට හැකිවූ බව ද ඔහු ප්‍රකාශ කළා.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන සෑම දරුවෙකුටම රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුලත්වීමට අවස්ථාව නොලැබෙන බැවින් එම දරුවන්ට උපාධි ලබා ගැනීම සඳහා නිසි ගුණාත්මකභාවයෙන් යුත් පෞද්ගලික අධ්‍යාපන ආයතන වඩ වඩාත් බිහිවිය යුතු අතර එම ආයතන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිරන්තර නියාමනයට ලක් කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?