ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව සභාපතිවරයා වැඩ භාරගනී

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රංජිත් රාජසිංහ අද (25) සිවිල් ගුවන්සේවා අධිකාරියේ පරිශ්‍රයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තා.

වසර 27කට අධික වෘත්තීය පළපුරුද්දක් සහිත වරලත් ගණකාධිකාරීවරයකු වන රාජසිංහ මහතා, අභ්‍යන්තර විගණනය, රාජ්‍ය අංශයේ පාලනය, ආයතනික මූල්‍ය කළමනාකරණය සහ අවදානම් කළමනාකරණය යන ක්ෂේත්‍රවල පුළුල් විශේෂඥ දැනුමකින් හා පළපුරුද්දකින් සමන්විත වනවා.

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) අධ්‍යක්ෂ – මූල්‍ය ලෙස කටයුතු කළ ඔහු, එම රාජ්‍ය වාණිජ ව්‍යවසායේ සමස්ත මූල්‍ය උපායමාර්ගය, ගිණුම්කරණ කාර්යයන් සහ මුදල් ප්‍රවාහ මෙහෙයුම් මෙහෙයවමින් මූල්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ සිය නායකත්ව හැකියාව ප්‍රදර්ශනය කරනවා.

මීට අමතරව, ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 20කට අධික කාලයක් ජ්‍යෙෂ්ඨ හමුදා හා මූල්‍ය පාලන තනතුරු රැසක් හොබවා ඇති රාජසිංහ, මහා පරිමාණ මෙහෙයුම් අයවැය කළමනාකරණය, අභ්‍යන්තර විගණනය, මූල්‍ය පාලනය සහ ආයතනික පරිපාලනය සම්බන්ධයෙන් සුවිශේෂී අත්දැකීම් ලබා තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් ඩබ්. ඩබ්. එස්. මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රබුක්වැල්ල, ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ අධ්‍යක්ෂ ප්‍රිමාල් ද සිල්වා සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරීන් ද සහභාගී වුණා.