දිවයිනේ විවිධ ප්රදේශවල අනතුරට ලක්ව සිටින වන අලි සහ ඇත් පැටවුන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා පරිසර අමාත්යාංශය කළ විශේෂ ඉල්ලීමකට අනුව, ආරක්ෂක නියෝජ්ය අමාත්යතුමාගේ සෘජු උපදෙස් පරිදි ත්රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කඩිනමින් අදාළ ස්ථාන වෙත ගොස් සොයා බැලීමේ හා සහන සැලසීමේ විශේෂ මෙහෙයුම් අද (22) දින සිට ආරම්භ කර තිබෙනවා.
පසුගිය දිනවල දිවයිනේ කලාප කිහිපයකින්ම අනතුරට පත් වනජීවීන් පිළිබඳව හදිසි තොරතුරු වාර්තා වුණා.
ඒ අනුව අනුරාධපුර රඹෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිහිඹියගොල්ලෑව ග්රාම සේවා වසමේ වේවැල්කැටිය ගම්මානයේ වැටී සිටි ඇත් පැටවා වනජීවී නිලධාරීන් විසින් මුදාගෙන, අනුරාධපුර පණ්ඩුලගම පශු වෛද්ය ඒකකය වෙත රැගෙන විත් ප්රතිකාර හා මූලික පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.
අනතුරුව වැඩිදුර පුනරුත්ථාපනය සඳහා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත යොමු කර තිබෙනවා.
පොළොන්නරුව, ගල්ලෑල්ල සහ මානික්කම්පට්ටිය ආශ්රිත ප්රදේශයේ අනතුරට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වූ අවුරුදු 7ක් පමණ වන ඇත් පැටවා සම්බන්ධයෙන් වනජීවී ක්ෂේත්ර නිලධාරීන්ගේ සහය ඇතිව කඩිනම් නිරීක්ෂණ කටයුතු ක්රියාත්මක වනවා.
