තායිවාන මැතිවරණයට චීනයෙන් අහිතකර බලපෑම් එල්ල කරන බවට චෝදනා

තායිවානයේ ඉදිරි ප්‍රාදේශීය මැතිවරණයට පෙර, චීනයෙන් පැතිරෙන බවට සැක කෙරෙන අසත්‍ය සහ විවාදාත්මක අන්තර්ජාල තොරතුරු ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි තායිවානයේ ජාතික ආරක්ෂක කාර්යාංශය චෝදනා කරනවා.

නීති සම්පාදකයන් වෙත මේ සතියේ ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙන්නේ, 2026 වසරේ මුල් මාස නවය තුළ තායිවානය ඉලක්ක කර පැතිරුණු එවැනි අන්තර්ජාල අන්තර්ගත මිලියන 2.5කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවයි.

එය පසුගිය වසරේ එම කාලයේ වාර්තා වූ මිලියන 1.69කට වැඩි ප්‍රමාණයට සාපේක්ෂව සියයට 48ක පමණ ඉහළ යාමක් බව සඳහන්.

තායිවාන බලධාරීන්ට අනුව, චීනයෙන් පැතිරුණු බව කියන මෙම පණිවිඩ බලශක්තිය, ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂක ප්‍රතිපත්ති වැනි කරුණු මෙන්ම මැතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිරූප සහ ප්‍රචාරක වේදිකා ඉලක්ක කර තිබෙනවා.

නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත නගරාධිපතිවරුන් සහ ප්‍රාන්ත පාලකයන් තෝරාගැනීමේ මැතිවරණයට බලපෑම් කිරීම එහි අරමුණ බවට එම කාර්යාංශය චෝදනා කරනවා.