මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ඒ අනුව අදාල නිවාසය ලබාදීම සඳහා 2019 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වුණා.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය. පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ ඔහු පදිංචිව සිටි කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම පැවරීමට 2019 වසරේ ඔක්තෝබර් මස 15 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් තීන්දුවක් ගෙන තිබූ බව පෙත්සමේ සඳහන් කර තිබුණා.
මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් තමන්ට හිමි වරප්‍රසාද පිළිබඳ තීන්දු තීරණ ගැනීම තුළින් ඔහු මහජන විශ්වාසය කඩ කර ඇති බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා සඳහන් කළේ වග උත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ නායකත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලයකින් ඔහුට අදාළ නිවස අනුමත කරගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
වගඋත්තරකාර හිටපු ජනාධිපති සිරිසේන මහතා විශ්‍රාම යාමටත් පෙර තමාට හිමි නිවස අමාත්‍ය මණ්ඩලය හරහා වෙන්කර ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරු වරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියා.
අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය රජයේ ප්‍රතිපත්තිමය තීරණයත් යැයි පෙන්වා දුන් විනිසුරුවරයා ඊට මැදිහත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් තිබෙන බවත් සඳහන් කර සිටියා.
ඒ අනුව අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ විනිසුරු මඩුල්ල ඒ අනුව එය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන බව වැඩිදුරටත් සඳහන් කර සිටියා.



