spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපට හොඳ යුගයක් උදා වෙමින් තිබෙනවා..

රටක් දියුණු වන්නට නම් යටිතල පහසුකම් සංවර්ධනය ප‍්‍රමුඛ විය යුතු බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළකර සිටියේ ති‍්‍රකුණාමලය, ගෝමරන්කඩවල සතිපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රට හදන සෞභාග්‍යයේ දැක්මට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ගම හදන ‘ගම සමග පිළිසඳරක්’ ගෝමරන්කඩවල වැඩසටහනේදීප‍්‍රදේශවාසීන් විසින් එතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට ප‍්‍රතිචාර වශයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම්, ඉංජිනේරුමය උපදේශන කටයුතු හා නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ රු.මි. 55.8 මූල්‍ය දායකත්වය මත ඉදි කෙරුණු ගෝමරන්කඩවල සතිපොළ මෙලෙස ජනතා අයිතියට පැවරුණි. මස්කඩ, මාළුකඩ, ආපන ශාලා පහසුකම්, වැසිකිලි පහසුකම් ඇතුළු කඩකාමර 134 කින් යුත් මෙම සතිපොළෙහි වාහන නැවතීමේ පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම්වලින් සමන්විතය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘අපි අද මේ කතා කරන ස්ථානය ත‍්‍රස්තවාදී යුද්ධය තිබූ අවධියේ, ත‍්‍රස්තවාදය දරුණු ලෙස බලපාපු, බොහොම පීඩනයට පත් වූ ජනතාවක් හිටපු ප‍්‍රදේශයක්. ඒ නිසා මම හිතන්නේ අනෙක් සෑම ප‍්‍රදේශයකම ඉන්න ජනතාවට වඩා යුද්ධය අවසන්වීම ගැන සතුටු වෙන්න පුළුවන් ජනතාවක් තමයි මෙම ප‍්‍රදේශයේ ඉන්නේ. තමුන්නාන්සේලා දන්නවා 2009 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි එවකට ආරක්ෂක ලේකම් වශයෙන් හිටියේ. ඊට පසුව මේ රටේ ආරම්භ වුණා සංවර්ධන යුගයක්. ඒ සංවර්ධන යුගය 2009 කලින් ආරම්භ වුනේ, 2009 පසුව වේගවත් වුණා. 2014 වන විට මේ රටේ විශාල සංවර්ධනයක් වෙමින් පැවතුණා. ඊට පසුව වසර 5 ක් පමණ ඒ සියල්ල කඩා වැටිලා තිබිලා ඊට පසුව නැවතත් ඒ සංවර්ධනය යුගය ආරම්භ වෙලා තිබෙනවා.

මේ සංවර්ධන කි‍්‍රයාවලියේ යම්කිසි තේමාවක් තිබුණා. ඒ තේමාව එදා මහින්ද චින්තනයේ සිට සෞභාග්‍යයේ දැක්මටත් අපි අරගෙන තිබෙනවා. අපි දන්නවා යුද්ධය අතරට මේ රටේ සෑහෙන ආර්ථික ගැටළු තිබුණා. ඒ ආර්ථික ගැටළුවලින් මිදෙන්නට අපිට සැලැස්මක් අවශ්‍යයි. මේ සැලැස්මේ අපි දැක්ක කළයුතු කාරණා රාශියක් තිබුණා. ඒ අතර රජය දැකපු ප‍්‍රධානම දෙයක් තමයි යටිතල පහසුකම් දියුණු කිරීමේ අවශ්‍යතාවය. ලෝකයේ ඕනෑම සංවර්ධිත රටක් දිහා බැලූවහම ඒ රටවල සංවර්ධනය ආරම්භ වෙන්නේ යටිතල පහසුකම් දියුණු කිරීමෙන්.

තමුන්නාන්සේලා දන්නවා අද ලෝකයේ තිබෙන දියුණුම රට ඇමරිකාව. ඇමරිකාවේ ඉතිහාස වසර 200 කට 300 කට ආසන්න කාලයක්. ඇමරිකාවට සංක‍්‍රමණිකයෝ ඇවිල්ලා, ලංකාව වගේ අති විශාල ඒ මහා විශාල භූමි භාගයක තැනින් තැන පදිංචි වෙලා පුංචියට තමුන්ගේ ජනාවාස පිහිටුවාගෙන ඉන්නකොට, ඇමරිකාව එක එක ජනාවාස සම්බන්ධ කරමින්, එක් එක් ප‍්‍රාන්ත සම්බන්ධ කරමින් ඒ මහා සංවර්ධන කි‍්‍රයාවලිය ආරම්භ වෙන්නේ දුම්රිය මාර්ග තැනීම හරහා. ඇමරිකාව පුරාම දුම්රිය මාර්ග පද්ධතියක් හැදුණා. දුම්රිය මාර්ග පද්ධතිය නිසා සියළු දෙනාට එකිනෙකා සමග සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. බඩු භාණ්ඩ ප‍්‍රවාහනය කරන්න පුළුවන් වුණා. මේක තමයි සංවර්ධනයේ ආරම්භය වුණේ. ලෝකයේ අනෙක් සෑම රටකම ඒක තමයි යතාර්ථය. ආසියානු කලාපයේ එක් කාලයක දුප්පත්ම රටක් වෙලා තිබූ වර්තමානයේ ඉතාම දියුණු රටක් වන දකුණු කොරියාව සංවර්ධනය පටන් ගත්තෙත් එක්තරා අවස්ථාවක ජෙනරල් පාර්ක් කියන ජනාධිපතිතුමා. ඉතාම දුප්පත් රටක් වූ කොරියාවේ ලේන් හයක මහා විශාල පාරක් හදන්න පටන් ගත්තා. ඒ රටේ දෙකොන යා කරමින්. හුඟක් අය ඒ වෙලාවේ විවේචනය කළා මේ වගේ දුප්පත් රටක මේවද කරන්න තියෙන්නේ කියලා. අපි සංවර්ධන කටයුතු සිදු කරන කොට සමහර අය අහනවා වගේ. නමුත් එයින් තමයි දකුණු කොරියාවේ සංවර්ධනය ආරම්භ වුණේ.

ඒ වගේ මහින්ද රාජපක්ෂ මහත්මයත් දැක්කා යුද්ධය අවසන් වන විට මේ රටේ සංවර්ධන කි‍්‍රයාවලිය ආරම්භ කිරීම සඳහා මේ මුළු රටම යා කරන දුම්රිය මාර්ග මහා මාර්ග ඇතුළු මාර්ග පද්ධතියක් හැදෙන්න ඕනේ කියලා. ඒ නිසා තමයි දුම්රිය මාර්ග, මහා මාර්ග ඉදිවෙමින් මේ මහා විශාල සංවර්ධනය පටන් ගත්තේ. දෙවනුව වැදගත්ම දේ තමයි විදුලිය. රටක සංවර්ධනයට විදුලිය අවශ්‍යයි. ඔබ දන්නවා 2005 ට කලින් මේ රටේ විශාල විදුලි ප‍්‍රශ්නයක් තිබුණා. රටේ මේ ප‍්‍රදේශවල කොහොමටත් විදුලිය තිබෙන්න නැතිව ඇති. රටේ කොළඹ, නුවර ප‍්‍රදේශවලට පවා විදුලිය බරපතල ප‍්‍රශ්නයක් වෙලා තිබුණා. දවසේ වැඩි වෙලාවක් විදුලිය නැහැ. එහෙම රටක් සංවර්ධනය කරන්න බැහැ. රටක් සංවර්ධනය කරන්න, කර්මාන්ත දුවන්න, සංවර්ධන කටයුතු කරන්න විදුලි බලය අවශ්‍යයි. ඒ නිසා විශාල විදුලි බල ව්‍යාපෘති ආරම්භ වුණා. නොරොච්චෝලේ තාප බලාගාරය වගේ විදුලි ව්‍යාපෘති රාශියක් ආරම්භ වෙලා 2014 වන විට අපි විදුලිබල ජනනයෙන් ස්වයංපෝෂිත උනා. මුළු රටටම විදුලිය දෙන්න බැරිඋනත් 96% කට පමණ ඒ වන විට රටේ නිවාසවලට විදුලිය ලබාදී තිබුණා. ඒ වගේම පානීය ජලය රටපුරා ගෙන යෑමේ ව්‍යාපෘති ගණනාවක් ආරම්භ උනා. ඒ වගේ විවිධ සංවර්ධන කටයුතු කෙරීගෙන එද්දි තමයි ආණ්ඩුව වෙනස් වුණේ.

2015-2019 කාලයේ මේ රටේ මොනම ව්‍යාපෘතියක්වත් කි‍්‍රයාත්මක වුණේ නැහැ. සියළුම සංවර්ධන ව්‍යාපෘති නතර වුණා. රජය මහා විශාල විදිහට ණය ගත්තා. හැබැයි ඒ ණය අරගෙන මොනවද කළේ කියලා දන්නේ නැහැ. මහින්ද රජපක්ෂ මහත්මයාගේ කාලේ අවුරුදු 9 කට ගත්ත ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 5200 යි. 2015-2019 වෙනකන් ගත්ත ණය ප‍්‍රමාණය ඊට වඩා වැඩියි. රුපියල් බිලියන් 5600 යි. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ යුගයේ ගුවන්තොටුපලවල්, වරායවල්, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, වාරි මාර්ග, තාප බලාගාර හැදුනා අපට මතකයි. නමුත් 2015-2019 කාලයේ රුපියල් බිලියන 5600 ක් අරගෙන හදපු කිසිම දෙයක් අපි දැකලා නැහැ. මුදල් කොහේ ගියාදවත් කියලා දන්නෙ නැති නාස්තියක්.

ඊට පස්සේ ජනතාව එකට එකතුවෙලා ඒ ආණ්ඩුව පළවා හැරියාට පස්සේ අපි නැවතත් ඒ සංවර්ධන කි‍්‍රයාවලිය ආරම්භ කරලා තියෙනවා. අද නැවතත් රටපුරා මහාමාර්ග, වාරිමාර්ග ඉදිවෙනවා. වැව් අමුණු 14,000 ක් අලූතින් ප‍්‍රතිසංස්කරණය කරනවා. රටපුරා පාලම්, නිවාස හැදෙනවා. ජලය, විදුලිය ලබාදෙනවා. එවැනි සංවර්ධන කි‍්‍රයාදාමයන් වෙනකොට තවත් වැදගත්ම දෙයක් තමයි මේ යටිතල පහසුකම් භාවිතා කරගෙන අපි කොහොමද ජනතාවගේ ආර්ථිකය ගොඩනංවන්නේ කියන එක. මෙම මූලික යටිතල පහසුකම් ගොඩනැගුවට පස්සේ ජනතාවට තමන්ගේ ව්‍යාපාර කරගන්න, තමුන්ගේ බඩු භාන්ඩ අලෙවි කර ගන්න අවශ්‍ය කරන පහසුකම් සැලසිය යුතුයි. අන්න එතනදි තමයි තමුන්නාන්සේලාට අපි ඉදිකර දී තිබෙන වෙළෙඳපොල වැනි දේ වැදගත් වන්නේ. දැන් අපේ අවධානය තිබෙන්නේ මෙවැනි දේවල්වලට. මොකද අපි තමුන්නාන්සේලාට අවස්ථාව දෙන්නට ඕනේ මේ ප‍්‍රදේශයේ ජනතාවගේ එළවළු ටික, කරවල ටික, මීකිරි ටික වැනි නිෂ්පාදන භාණ්ඩ තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් අලෙවිකර ගන්නට පහසුකම් සපයා දෙන්නට ඕනේ. ජනාධිපතිතුමා ගම සමග පිළිසඳරකට මෙම ප‍්‍රදේශයට ආපු වෙලාවේ කළ ඉල්ලීමකට අනුව නාගරික සංවර්ධන අධිකාරිය හරහා ඔබලාට මේ සංකීර්ණය ඉදිකර දී තිබෙනවා. මෙය වෙනත් කාර්යයන් සඳහාත් භාවිත කළ හැකි අයුරින් බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර තිබෙනවා.

අපි මේ වසරේ සංවර්ධන කටයුතු ගැන කතා කරන විට මහා විශාල මෙගා ව්‍යාපෘති ගැන නෙමෙයි නාගරික සංවර්ධන අධිකාරිය සැලැසුම් කරන්නේ. අපි උත්සහා කරනවා 2022 වසරේදී මුළු රටපුරාම රටේ ආර්ථික කි‍්‍රයාවලියට දායකත්වයක් දෙන්න පුළුවන් දේවල්වලට අවධානය යොමු කරන්න. පොළවල් හදන්නේ, කඩපිල් හදන්නේ, ඇවිදින මංතීරුවක් හැදුවත් අපි කියලා තියෙනවා ඒ ඇවිදින මංතීරුව අවට ජනතාවට වෙළෙඳාමක් කර ගන්න හරි යම්කිසි ආර්ථික කි‍්‍රයාවලියක් කරන්න පහසුකම් සලසන්නට ඕනේ කියලා. ඒ නිසා 2022 වසරේ ඒ සඳහා අපි අවධානය යොමුකර තිබෙනවා.

අපිට 2020-2021 වසර දෙකම විශාල පීඩනයක් තිබුණා මේ කොරෝනා වසංගතය නිසා. අපි සැලසුම් කළ බොහෝ දේවල් අපි කරගෙන ගියත් ජනතාවට පෙනුන් නැහැ මේ ප‍්‍රශ්නය නිසා. සංවර්ධනය ඇරඹී තිබුණ විදිහටම සිදු කළා. නමුත් මිනිස්සු දැක්කේ කොරෝනා ප‍්‍රශ්නය විතරයි. රූපවාහිනියේ, පත්තරවල කතා කළේ මැරෙන මිනිසුන් ගණන, ආසාධිතයන් ගණන, එහෙමත් නැත්නම් ඒ අදාල ප‍්‍රශ්න ගැන විතරයි. ඒ නිසා ජනතාවත් ඇත්තටම ආණ්ඩුව කරපු වැඩ දැක්කේ නැහැ. ඒ කෙසේ වෙතත් ලෝකයේ සෑම රටකටම වගේ අපේ රටටත් විශාල ආර්ථික පීඩනයක් ඇති වුණා. එය ලංකාවට පොදු දෙයක් නෙමෙයි. ඇමරිකාවේ, එංගලන්තේ, ප‍්‍රංශය, ජර්මනිය අසල්වැසි ඉන්දියාව මේ සියළු රටවල ආර්ථිකය පසුගිය වසරේ කඩා වැටුණා. ඒ වගේම අපේ ආර්ථිකයටත් එය බලපෑවා. ඒ ආර්ථිකය කඩා වැටීම අවසානයේ ජනතාවට ජීවන බර වශයෙන් දැනුණා. ජනතාවගේ ජීවන බර වැඩිවුණා. බඩු භාණ්ඩ මිලදී ගන්න කොට වියදම වැඩිවුණා. ආදායම අඩු වුණා. රැකියා නැතිවුණා. මෙය ලංකාවේ පමණක් නෙමෙයි මුළු ලෝකය පුරාම සිදුවුණා.

හැබැයි අපි දැන් මෙයින් එළියට එන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන මූලිකම අවශ්‍යතාවය කොරෝනා පාලනය රජය ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව ඉතාමත්ම සාර්ථකව කර තිබෙනවා. අද මේ අපේ පුංචි රට ලෝකයේ කොරෝනාවලට එරෙහි එන්නත්කරණය ලෝකයේ සාර්ථකවම සිදුකළ රටවල් 10 අතරට නම් වෙලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියලා තිබෙනවා ලංකාව ආදර්ශයට ගන්න කියලා අනෙක් රටවලට. අවුරුදු 20 ට වැඩි ලංකාවේ සමස්ථ ජනගහණයෙන් මේ වන විට 79% ක් පමණ එන්නත් කරලා අවසානයි. දැන් ඒ තත්වය ඉදිරියටත් කෙරීගෙන යනවා. ඒ නිසා පැහැදිලිව දත්තවලින්ම දකිනවා කොරෝනා පාලනය වෙමින් තිබෙනවා, මරණ ප‍්‍රමාණය අඩුවෙමින් තිබෙනවා. ආසාධිතයින් ප‍්‍රමාණය අඩුවෙමින් තිබෙනවා.

හැබැයි අපි මුහුණුපොත දිහා බැලූවොත් අපට අපේ රට ගැන බොහොම නරක අදහසක්. මොකද මුහුණු පොතේ තියෙන්නේ විවේචනම පමණයි. නමුත් එහෙම කරගෙන මේ රටක් හදන්න බැහැ. ලෝකයේ හැම රටකටම වගේ ඉතිහාසයේ යම්කිසි අවස්ථාවක මහා විශාල අර්බුද ඇවිල්ලා තිබෙනවා. ඕනෑම දියුණු රටක ඇමරිකාවේ වේවා, යුරෝපයේ වේවා, චීනයේ වේවා, ජපානයේ වේවා මේ හැම රටකටම විශාල අර්බුද ඇවිල්ලා තිබෙනවා. ජපානයේ සමහර නගර දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අලූවෙලා ගියා. නමුත් එම රටවල් අලූගසලා නැගිට්ටේ මිනිසුන් ප‍්‍රශ්න ගැන කතා කර කර ඉන්නේ නැතිව උත්තර හොයපු නිසා. ඒ නිසා අපි දැන් උත්තර හොයන්න ඕනේ. අපිට සැලැස්මක් තිබෙනවා. එය අපි ජනතාවට ඉදිරිපත් කරලා තිබෙනවා සෞභාග්‍යයේ දැක්ම කියලා මැතිවරණයට පෙර. ඒ සැලැස්ම කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. අපි එය විශ්වාස කරනවා, අපි එය ක‍්‍රියාත්මක කරගෙන යනවා. ඒ සැලැස්මේ ප‍්‍රතිපළ අපට පේනවා. ගිය වසරේ අපේ රටේ ආර්ථිකය 3.6% කින් ඍණ වුණා. මුළු ලෝකයේ තත්වය එයයි. හැබැයි මේ වසරේ පළවෙනි මාස 6 සමස්ථයක් වශයෙන් ගත්තාහම අපේ රටේ ආර්ථිකය 8% ක වර්ධනයක් තියෙනවා. ඒවයේ ප‍්‍රතිඵල ජනතාවට පේන්න පටන් ගන්නේ තව අවුරුද්දක් දෙකක් ගියහම. නමුත් පණිවිඩය තමයි අපට හොඳ යුගයක් උදා වෙමින් තිබෙනවා. අපට සුභවාදීව අනාගතය දිහා බලන්න පුළුවන් යුගයක් උදා වෙමින් තිබෙනවා. එතනදී අපත් එකතුවෙලා මේ හැම ගම් පලාතක්ම සංවර්ධනය කරලා , මේ සංවර්ධනය රටේ හතර දිග්භාගයකටම ගිහිල්ලා එකට එකතු වෙලා මේ රට ගොඩනගමු කියන පණිවිඩය, ඉල්ලීම තමුන්නාන්සේලාගෙන් කරනවා යැයි පැවසීය.

ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර
මාධ්‍ය ලේකම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?