spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණයට අපහාස කළ ඩයනා ගමගේ ගැන තීරණයක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක් යොමු කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කළේ.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවක නියෝගයක් පසුගිය අප්‍රේල් මස 24 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබුණා.

පසුගිය මැයි මස 29 වනදා රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාධාත්මක වැඩසටහනකට සහභාගී වූ ඩයනා ගමගේ අමාත්‍යවරිය එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් වීමට පෙරම එය ලබාගන තිබෙන බව ප්‍රකාශ කර තිබු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ආවේෂණ පරීක්ෂණයක් සිදු කළ බවත් එහිදී අදාළ නඩු තීන්දුව මුලින්ම පළ වී තිබුණේ ඔෂල ලක්මාල් නමැත්තෙකුගේ සමාජ මාධ්‍ය ගිණුමේ බවත් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අප්‍රේල් මස 24 වනදාට පෙර එම තීන්දුව කිසිදු සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ පළ වී නොතිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා සිටියා.

මීට අදාළව ඔෂල හේරත්ගෙන් ප්‍රකාශයක් සටන් කර ගත් අතර එම ප්‍රකාශයට අනුව අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වී දින හතරකට පසුව ඔහු විසින් එහි පිටපත් ලබාගෙන තිබෙන බව අනාවරණය වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ප්‍රකාශ කළේ.

මීට අදාළව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන බැවින් එම ප්‍රකාශය සටහන් කරගෙන වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙම ප්‍රකාශය තුළින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.

ඒ අනුව ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අදාළ පැමිණිල්ල අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලීම් කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු වලට සවන් දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළා.

” අධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති කරුණු පිරික්සීමේදී මා විසින් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර එය ලබාගන තිබෙන බව මෙම පරීක්ෂණයට භාජනය වී සිටින තැනැත්තිය විසින් ප්‍රකාශ කර තිබෙනවා. මෙම නඩු තීන්දුව යතුරු ලියනය කරන ලද්දේ මාගේ නිවසේ දී මා විසින් මාගේ ලැප්ටොප් පරිගණකයෙන්. එසේ යතුරු ලියනය කරන ලද නඩු තීන්දුව pen drive එකක දමාගෙන නිවසේ සිට මගේ කලිසම් සාක්කුවේ දමා ගෙන අධිකරණය වෙත රැගෙන ආවා. ඉන්පසුව අධිකරණයේ දී එම නඩු තීන්දුවට අදාළ පිටපත් මා විසින්ම ලබා ගත්තා. මෙම නඩු තීන්දුව පිටපත් කිරීමේ කටයුතුවලට කිසිදු යතුරු ලේඛිකාවක් සම්බන්ධ වුණේ නැහැ. එමනිසා මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර පිටවීමට කිසිදු හැකියාවක් නැහැ.”යනුවෙන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.

වැඩි දුරටත් කරුණු දැක්වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා

” ඉදිරිපත් වී ඇති කරුණු පිරික්සීමේදී මෙම පරීක්ෂණයට භාජනය වී සිටින තැනැත්තිය විසින් සිදු කර ඇති අදාළ ප්‍රකාශය අධිකරණය විසින් නිරීක්ෂණය කළා. ඒ තුළින් බැලූ බැල්මටම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුදුසු කරුණු ඇති බව පෙනී යනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ලබන අපහාසයක් සම්බන්ධයෙන් නඩු විභාග කිරීමේ බලය අභියාචනාධිකරණය වෙත පැවරී තිබෙනවා. නමුත් අධිකරණ සංවිධාන පනත යටතේ ද මෙම අපහාසය සම්බන්ධයෙන් නඩු විභාග කිරීමට මාගේ අධිකරණයටත් බලය ලබාදී තිබෙනවා. එහෙත් මෙම වරදේ ස්වභාවය සම්බන්ධයෙන් සලකා බැලීමේදී මාගේ අධිකරණය හමුවේ පවත්වනු ලබන නඩු විභාගයකින් අනතුරුව පැනවිය හැකි දඩුවම ප්‍රමාණවත් වන්නේ නැහැ. නමුත් අභියාචනාධිකරණයට දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් පුළුල් බලයක් තිබෙනවා.”

යනුවෙන් සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ අනුව ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය සභාපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කරන බවත් නියෝග කළා.

ඊට අදාළ කටයුතු සඳහා මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ සහතික පිටපතක්, ඇය විසින් අදාළ රූපවාහිනී සාකච්ඡාවේ දී කරන ලද ප්‍රකාශය අන්තර්ගත සංයුක්ත තැටිය සහ සෙසු ලේඛන ද අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
17
+1
2
+1
2
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?