මෙරටට බලපාන ආපදා සහ හදිසි අවස්ථාවන්හිදී විශේෂයෙන් අවදානමට ලක්වන කාන්තාවන්, ගැහැණු ළමුන් සහ ගැබිණි මව්වරුන්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව තහවරූ කිරීමට මෙන්ම එවැනි අවස්ථාවන්හිදී අවශ්‍ය සෞඛ්‍ය මැදිහත්වීම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් ඇමෙරිකානු ඩොලර් 250,641 ක් වටිනා හදිසි ආපදා මානූෂීය ආධාර තොගයක් ඊයේ (11) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාරදෙනු ලැබුවා.
මෙම මානූෂීය ආධාර තොගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine), ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් රූත් බෙයාර්ඩ් (Ruth Baird) සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා වැඩබලන නියෝජිත ෆුන්ට්ෂෝ වංයෙල් (Phuntsho Wangyel) ඇතුළු පිරිස විසින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී භාර දුන්නා.
මෙම විශේෂිත මානූෂීය ආධාර වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත රජයන් විසින් මූල්‍යමය දායකත්වය ලබාදී ඇති අතර, ආපදා තත්ත්වයන්හිදී විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කාන්තාවන්, ගැහැණු ළමුන්, ගැබිණි මව්වරුන් සහ වැඩිහිටි පුද්ගලයන් වෙත අවශ්‍ය සෞඛ්‍ය, සනීපාරක්ෂක හා ආරක්ෂණ පහසුකම් කඩිනමින් සැලසීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම හදිසි ආපදා මානූෂීය ආධාර තොගයට ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු කූඩාරම් 08 ක්, ඒ අතර සූර්ය බලශක්ති ආලෝක පද්ධති සහිත කූඩාරම් 03 ක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා ගමන් කට්ටල (Midwifery Go-Bags) 999 ක්, ගැබිණි මව්වරුන් සඳහා භාණ්ඩ කට්ටල (Maternity Kits) 1,283 ක්, වැඩිහිටි කට්ටල (Elderly Kits) 246 ක් සහ කාන්තාවන් හා ගැහැණු ළමුන් සඳහා සනීපාරක්ෂාව තහවුරු කිරීම සඳහා වන කට්ටල (Dignity Kits) 1,659 ක් ඇතුළත්.
මෙම පරිත්‍යාගය සඳහා මූල්‍යමය දායකත්වය ලබාදෙමින් මෙරට ආපදා පෙර සූදානම සහ සෞඛ්‍ය සේවා ප්‍රතිචාර ධාරිතාව ශක්තිමත් කිරීමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයටත්, නවසීලන්ත රජයටත්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලටත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කාරණා බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී සඳහන් කළා
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ මෙම විශේෂිත හදිසි ආපදා මානූෂීය ආධාර තොගය ආපදා අවදානම ඉහළ දිස්ත්‍රික්කවල උපායමාර්ගිකව පෙර ස්ථානගත කිරීමට (pre-position) නියමිතයි.
එමඟින් ආපදා අවස්ථාවකදී මාර්ග විනාශවීම් හෝ ප්‍රදේශීය යටිතල පහසුකම් බිඳවැටීම් හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රවාහන ප්‍රමාදයන් අවම කරමින්, හදිසි අවස්ථාවන්හිදී ක්ෂණිකව මැදිහත්වන සෞඛ්‍ය වෘත්තිකයන්ට අවශ්‍ය උපකරණ හා සම්පත් අදාළ ප්‍රදේශ තුළදීම ලබාගැනීමටත්, ජනතාව වෙත අත්‍යවශ්‍ය හදිසි සෞඛ්‍ය සේවා කඩිනමින් සැපයීමටත් හැකියාව ලැබෙනවා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ , අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි , පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග ඇතුළුව අංශ ප්‍රධානීන්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.













