අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට තිබූ මහපොළ සහතික ප්‍රදානෝත්සවය හදිසියේම නවතා දමයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (28) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ 2024/2025 අධ්‍යයන වර්ෂයට අදාළ මහපොළ සහතික ප්‍රදානෝත්සවය කල් දැමීමට කටයුතු කර තිබෙනවා.

පාලනයෙන් බැහැර වූ හා වැළැක්විය නොහැකි තත්ත්වයන් හේතුවෙන් එම උත්සවය කල් දැමීමට සිදු වූ බවයි මහපොළ භාර අරමුදල නිවේදනය කරන්නේ.

මෙම සහතික ප්‍රදානෝත්සවය අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

උත්සවය කල් දැමීම හේතුවෙන් සිසුන්, දෙමාපියන්, විශ්ව විද්‍යාල, සැපයුම්කරුවන්, කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පාර්ශ්වයන්ට ඇති වූ අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කර බව සඳහන් කරන එම අරමුදල, සහතික ප්‍රදානෝත්සවය යළි පැවැත්වෙන දිනය ඉදිරියේදී නිල වශයෙන් දැනුම්දෙන බවයි පවසන්නේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (27) චෝදනා කළේ, මහපොළ අරමුදල් සහතික ප්‍රදානය අරලියගහ මන්දිරයේ දී අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ පැවැත්වීමට නිමිතව තිබු බවත්, මේ සඳහා තේරී පත්වූ විශ්වවිද්‍යාල සිසුන්ට පැමිණෙන ලෙස යොමුකළ ලිපිය තුළ අරලියගහ මන්දිරයට පැමිණ ලියාපදිංචි වුවහොත් පමණක් මහපොළ සහතිකය ලැබෙන බවත් මෙම මහපොළ සහතිකය ඉදිරිපත් කළහොත් පමණක් මහපොළ ශිෂ්‍යාධාර ලබාදෙන බවයි.