මියන්මාරයට අද (28) දහවල් බලපෑ භූකම්පනය හේතුවෙන් මේ වනවිට විශාල පිරිසක් අවතැන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම භූකම්පනයෙන් මියන්මාරය තුළ සිදුවූ මරණ සහ තුවාල ලැබීම පිළිබඳව තවමත් නිශ්චිත දත්ත වාර්තා නොවන බවයි විදෙස් මධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් ජීවිත සිය ගණනක් අහිමි වී ඇති බවයි එම මධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
රිච්ටර් මාපකයේ 7.7ක ප්‍රබල තත්වයක් සටහන් වූ මෙම භූමිකම්පාව අසල්වැසි චීනය සහ තායිලන්තයට ද බලපා ඇති අතර ඉන් විශාල හානියක් තායිලන්තයට සිදුව තිබෙනවා.
තායිලන්තයේ අගනුවර වන බැංකොක්හි, කඩා වැටුණු ගොඩනැගිල්ලක සිටි ඉදිකිරීම් සේවකයින් 81 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි මේ වනවිට විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මීට පෙර එරට බලධාරීන් වාර්තා කර තිබුණේ ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයින් 43 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.
භුකම්පනයේ බලපෑම මත ගොඩනැගිල්ල කඩාවැටීම සිදුවන අවස්ථාවේ සේවකයින් 409ක් පමණ එම ස්ථානයේ සිටි බවයි වාර්තා වන්නේ.
මියගිය සංඛ්‍යාව තවමත් පැහැදිලි නැති අතර, දිවි ගලවාගත් අය සෙවීමේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
එමෙන්ම එම ස්ථානයේ ක්ෂේත්‍ර රෝහලක් ද පිහිටුවා ඇති බව වාර්තා වනවා.
මේ අතර අසල්වැසි මියන්මාරයට බලපෑ 7.7 ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු තායි බලධාරීන් විසින් රට පුරා පාසල් වසා දැමීමට නියෝග කර ඇති තිබෙනවා.
ඊට අමතරව උස් ගොඩනැගිලිවල සිටින ජනතාවගෙන් “වහාම ඉවත් වන ලෙස” තායි බලධාරීන් ඉල්ලා ඇත්තේ සිදුවිය හැකි පසුකම්පනවලින් සිදුවිය හැකි හානිය අවමකර ගැනීමේ අරමුණින්.
මේ අතර මියන්මාරයේ පාලක හමුදාව භූ කම්පනය සිදු වූ කලාප සහ ප්‍රාන්ත හයක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රාජ්‍යය තත්ත්වය පිළිබඳව ඉක්මනින් විමසීම් කරන අතර, මානුෂීය ආධාර ලබාදීමත් සමඟ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි මියන්මාර පාලක හමුදාව පවසන්නේ.