අද (02) පෙරවරු 9.44 වන වින විට ඩීසල් ලීටර් 2,925,349ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් නිකුත් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා සඳහන් කරනවා.
එමෙන්ම එම වේලාව වනවිට පෙට්‍රල් ලීටර් 2,904,000ක් ද සංස්ථාව මඟින් ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කර ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.
මේ අතර ඊයේ (01) දිනයේ දී ඩීසල් ලීටර් 3,081,349ක් බෙදාහැර ඇති බව සඳහන් කළ සභාපතිවරයා, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් 3,920,400ක් ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැර ඇති බවයි වැඩිදුරටත් පැවසුවේ.
ඒ, අනුව ඊයේ (01) දිනයේ දී මෙලෙස නිකුත් කරනු ලැබූ ඉන්ධන ජනතාවගේ අනවශ්‍ය කලබලය හේතුවෙන් මේ වනවිට බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අවසන් වී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.
මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ජනතාවට දැනුම් දෙන්නේ අවශ්‍ය තරම් ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බවත්, ඒ හේතුවෙන් අනවශ්‍ය කලබලයකින් සහ අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කර නොගන්නා ලෙසයි.
මේ අතර ඒ ආකාරයෙන් ඉන්ධන තොග රැස්කර තබාගන්නන් පිළිබඳව අද (02) දිනයේ සිට නීතිමය කටයුතු සිදුකරන බව සඳහන් කළ සභාපතිවරයා ඊට පොලිසියේ සහාය ලබාගන්නා බවයි පැවසුවේ.
සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ මහජනතාවට ඉන්ධන නිකුත් කිරීම සීමාකිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත්, රට තුළ ඉන්ධන හිඟයක් නොමැති නිසා QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.



