කෝල්ඩ්ප්ලේ ප්‍රසංගයක දී කාන්තාවක් සමඟ වැළඳගෙන සිටින අයුරු පුළුල් තිරයක දර්ශනයවීමත් සමඟ Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි බයිරන් අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.
Astronomer සමාගම ඊයේ (18) එක්ස් හි සටහනක් තබමින් තම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි බයිරන් අනිවාර්ය නිවාඩු යැවූ බව තහවුරු කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඇන්ඩි බයිරන් මෙලෙස වැළඳගෙන සිටි කාන්තාව එම සමාගමේ මානව සම්පත් ප්‍රධානී ක්‍රිස්ටින් කැබොට් බවයි.
දෙදෙනා එකිනෙක වැළඳගෙන සිටින මෙම දර්ශනය සමාජ මාධ්‍ය වෙත එක්වීමත් සමඟ ඔවුන් අතර අනියම් සම්බන්ධයක් ඇති බවට කටකතා අන්තර්ජාලය පුරා පැතිර ගියා.
මෙම සිදුවීමෙන් දින දෙකකට පසු Astronomer සමාගම වීඩියෝව පිළිබඳ පැහැදිලිව සඳහන් නොකර, කාරණය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන බවට ප්‍රකාශයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එම සමාගම සඳහන් කරන්නේ, “Astronomer සමාගම අපගේ ආරම්භයේ සිටම අපට මඟ පෙන්වූ වටිනාකම් සහ සංස්කෘතියට කැපවී සිටිනවා, අපගේ නායකයින් හැසිරීම සහ වගවීම යන දෙඅංශයෙන්ම ප්‍රමිතීන් නියම කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා. අධ්‍යක්ෂ මණ්ඩලය මෙම කාරණය පිළිබඳව විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඉතා ඉක්මනින් වැඩි විස්තර බෙදාගැනීමට අපට හැකි වේවි.” යනුවෙන් පවසා තිබෙනවා.
මේ අතර Astronomer සමාගමේ සමනිර්මාතෘ සහ ප්‍රධාන නිෂ්පාදන නිලධාරී පීට් ඩිජෝයි අන්තර්කාලීන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.















