Empty Ad
Empty Ad
 Empty Ad

සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වෙන වික්ටර් රත්නායකයන්ට ඇත්තටම මොකද වුනේ..?

මේ දවස්වල කොයි කාගේත් කතා බහ ආචාර්ය වික්ටර් රත්නායක ගැනය. ඊට හේතුව වී ඇත්තේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වන “වික්ටර්ගේ නැතිවී ගිය කටහඬ යාඥා කර ලබා ගනියි” යන වීඩියෝවය.

මෙම වීඩියෝව නරඹන බොහෝ දෙනා තුළ වික්ටර් සම්බන්ධව අනුකම්පාවක් සේම තරහක්, වේදනාවක් ඇතිවීම මෙම කතාබහට මූලික හේතුවක් වී ඇත.

ඇතැමුන් පවසන්නේ වික්ටර් වැනි ප්‍රබුද්ධ, එමෙන්ම බහුශ්‍රැත කලාකරුවකු මිථ්‍යාව හා මායාව විශ්වාස කිරීම අනුමත කළ නොහැකි බවය. තවත් අය කියන්නේ “වික්ටර්ගේ සිංදු විතරක් අහමු. සිදුවූදේ කතා නොකර ඉඳිමු” යනුවෙනි. අසරණ වූ අවස්ථාවක පිදුරු ගහෙත් එල්ලී සරණ සෙවීම මනුෂ්‍ය ගතිය බව කියන ඇත්තෝද නැතුවාම නොවේ.

කෙසේ හෝ රටේ දැවෙන ප්‍රශ්නයක් බඳු ආචාර්ය වික්ටර්ගේ ෆාස්ටර් ආගමනය සුළුවෙන් සැලකිය යුතු ප්‍රශ්නයක් නොවන බව ඔහු ළඟින් ඇසුරු කළ ප්‍රබුද්ධ කලාකරුවන්ගේ පවා මතය වී ඇති බව මුහුණු පොත මඟින් ඔවුන් දක්වා ඇති අදහස්වලින් මෙන්ම ඔවුන් පෞද්ගලිකව කියන කාරණා සැලකිල්ලට ගත් විට පෙනේ.

“වික්ටර්ට මෙහෙම කළේ සැලසුම්සහගතවයි. ඔහුගේ අලුත් බිරිය විශාල මුදලක් මේ වෙනුවෙන් ලබාගෙන තිබෙන බව දැනගන්නට ලැබී තිබේ. ඒ කපුකම කළේ තවත් ගායක ගායිකා යුවළක් විසිනුයි. ඔවුන් වික්ටර් රෝහල්ගතව සිටි කාලයේ ඉඳලම මේ සැලසුම් ක්‍රියාත්මක කළා.”

ආචාර්ය වික්ටර් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කාලයේ දුටු ඇතැම් සිදුවීම් ගැන එසේ පවසන්නේ දුක සැප බලන්නට එහි ආගිය ඇතැමුන්ය. ඔවුන් ඒ චෝදනාව කරන්නෙත් නෙලූ අධිකාරි සහ කපිල පූගලආරච්චි ඉලක්ක කරගෙනය.

“අඬන්න ඉන්න කෙනාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ” ඔවුන්ගේ මේ ප්‍රකාශ තවදුරටත් සනාථ කරන සේ නෙලූ අධිකාරිත් ප්‍රසිද්ධියේ කියා සිටියේ තමා බුදු දහම සහ කලාව අතහැර දේව සේවයට කැපවන බවය.

කෙසේ වෙතත් දැන් වික්ටර් අබෞද්ධ කොට හමාරය. දේවගැති කිංස්ලි ප්‍රමුඛ නිදහස් ක්‍රිස්තියානි සභාව ඒ ජයග්‍රහණය භුක්ති විඳිමින් සිටියි.

අප මේ කියන්නේ රටේ අති බහුතරයකගේ අදහසය. චෝදනාවය. සැබෑවටම අද මේ චෝදනාව හා ඊට පසුබිම් වී ඇති කතන්දරය ගැන සොයන්නට වෙහෙසුණේ ඉන් පසුවය.

දේවගැති කිංස්ලි පවසන ආකාරයට ඔහු බෞද්ධ දර්ශනය ගැන, බුදුන් වහන්සේ දේශනා කළ නිර්මල ධර්මය ගැන ආඩම්බරයෙන් කතා කරන කෙනෙකි.

“මමත් බෞද්ධ පවුලක කෙනෙක්. අපේ පවුලේ හැමෝම තවමත් බෞද්ධ. හැබැයි මම හිතනවා තව කෙනෙක් තළන පෙළන විධියට හෙළා දකින විධියට හැසිරෙන එක නියම බුදු දහම නෙවෙයි කියලා. නියම බුදු දහමට මම ආදරෙයි. ඒ බුදු දහම ඒ මෛත්‍රිය නැවත අපට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

දේවගැති කිංස්ලි එසේ කියනවා නම් නෙලූ අධිකාරි බුදු දහම අතහැර යන්නේ ඇයි? වික්ටර් රත්නායකව පල්ලියට තල්ලු කරන්නේ ඇයි?

සාමාන්‍යයෙන් අපේ රටේ විවිධ මිථ්‍යාවල ගිලී සිටින්නෝ බහුලය. ඇතැම් බෞද්ධයන්ටද මෙය පොදුය. ඉස්ලාම්, හින්දු ආගම් අදහන්නන් අතරද බෙදීම් ඇත.

ප්‍රශ්නය වී තිබෙන්නේ මේ ආගමික කල්ලි හැසිරෙන ආකාරයෙහිය. ඔවුන් ආගමික කාරණා සම්බන්ධයෙන් මෙන්ම දේශපාලන හා වෙනත් කාලීන ප්‍රශ්න සම්බන්ධයෙන්ද ක්‍රියාකරන්නේ මිථ්‍යාව ඉස්මතු කරමිනි.

“සාමාන්‍යයෙන් කිසියම් රෝගී තත්ත්වයක් සුවපත් කිරීමට කායිකව කරන ප්‍රතිකාර ඉතා වැදගත්. අපි හිතමු යම් කෙනකු ස්නායු රෝගයකට ගොදුරු වුණා කියලා අන්න ඒ වෙලාවට විශේෂඥ වෛද්‍යවරයා ඒ තත්ත්වය හොඳින් තේරුම් අරන් ප්‍රතිකාර ලබාදුන්නත්, රෝගියා ඉන්නේ කිසියම් මානසික පීඩනයක. සමහර විට ඒ පීඩනය ඔහු රැක බලා ගන්නා තැනැත්තාට වුණත් ඇති වෙන්න පුළුවන්.”

මෙසේ පවසන්නේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්ය. ඔහු සඳහන් කරන ආකාරයට ඇතිවන මානසික රෝගී තත්ත්වය හෝ මානසික අවපාතයට ප්‍රතිකාර ලබාගත යුතුය.

“අපි හිතමු ආදරවන්තියක් කියලා. නොසිතූ වෙලාවක පෙම්වතා ඇය හැර ගියාම ඇතැම් විට ඇය කා එක්කවත් කතා නොකර කල්පනා කරමින් ඉන්න පෙලඹෙනවා. එහෙම වුණාම කතා කරගන්න බැරි තත්ත්වයට පවා පත්වෙන අවස්ථා අප දැක තිබෙනවා. මේක තමයි මානසික අවපාතය කියන්නේ. ඒක රෝගී තත්ත්වයක්.”

“කිසියම් කෙනකුට දරාගත නොහැකි කායික රෝගයක් නිසාත් එසේ වෙනවා. පෙර මෙන් කතා කර ගන්න, ගීත ගයන්න බැරි වෙනවා.”

“මෙවැනි අවස්ථාවලදී එවැනි රෝගීන් හා ඔවුන්ගේ සරණට සිටින අය මිථ්‍යාව පසුපස යෑම නවතාලිය නොහැකියි.” විශේෂඥ මනෝ වෛද්‍යවරයා සඳහන් කරන ආකාරයට ඔවුහු එවැනි තැනකට වැටී විවිධ ශාන්ති කර්ම පූජා විධි ඇදහිලි ආදියට අනුගත වෙති.

“දරුවන් පුංචි කාලේ ඉඳලම මේ දේවල් දකිනවා. මිථ්‍යාව ඔහුගේ මොළයේ තැන්පත් වෙනවා.”

“පසු කාලෙකදී එළියට එන්නේ මෙන්න මේ විධියට මොළයේ තැන්පත් වී තිබෙන මිථ්‍යා විශ්වාසයයි. නමුත් මිථ්‍යාවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ විශ්වාසය තාවකාලිකයි. ඇතැමුන් කාලයාගේ ඇවෑමෙන් ඒ තත්ත්වය තේරුම් ගන්නවා.”

“කිසියම් කෙනෙක් මානසික අවපාතයකට ගොදුරු වුණාම පිදුරු ගහෙත් එල්ලිලා ජීවිතේ බේරගන්න තමයි බලන්නේ. ඉතින් එහෙම කෙනෙකු ළඟට මිථ්‍යාව පතුරවන අය ළං වුණාම ඒ පස්සේම දුවනවා.”

“නමුත් මිථ්‍යාවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒවා නිකම් මැජික් වගේ.”

විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා අති දක්ෂ මනෝ වෛද්‍යවරයෙකි. ඔහුට ඔහුගේ සේවා කාලය තුළදී බොහෝ රෝගීන් හමුවී ඇත. ඔවුන්ගේ හැසිරීම් ඔහු දැක ඇත. ඔවුන්ගේ කතා ඔහු අසා ඇත. ඒවා වෛද්‍ය විද්‍යාව හා බැඳුණු සංකීර්ණ දේය.

“සමහර වෙලාවට මේ අහන්න දකින්න ලැබෙන දේවල් නිසා මා තුළ ඇතිවන්නේ වික්ෂිප්තභාවයක්. කොහොම වුණත් අපි ආචාර්ය වික්ටර් රත්නායක මහතාව රැක බලාගත යුතුයි. ඔහු ලාභ ගීත ගැයූ ගායකයෙක් නොවෙයි. ප්‍රබුද්ධ ජනතාව ගීතයෙන් ඇමැතූ සුවිශේෂ ගායකයෙක්.”

මෙය පවසන්නේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ මෙය පවසන්නේ කාලයක් පුරා වික්ටර් රත්නායකයන් සමඟ තිබූ හිතවත්කම ගැන මෙනෙහි කරමිනි.

“අපිට තිබෙන ප්‍රශ්නය වික්ටර් රත්නායක මහත්තයා බිලීබා ගැනීම ගැන නොවෙයි. මේ අය බුදු දහම විනාශ කරන්න උපක්‍රමශීලිව කටයුතු කිරීම ගැනයි. ඕනෑම කෙනෙකුට ආගමක් අදහන්න ආගමක් මාරු කරන්න නිදහස තිබෙනවා. නමුත් ගෙවල්වලට ගිහින්, මුදල් ලබාදෙමින් අහිංසක බෞද්ධයන්ව මුළාකොට මෙවැනි බලහත්කාරකම් කරන්න හොඳ නැහැ. අපි රජයට මේවා නවත්වන්න යෝජනාවලියක් භාරදී තිබෙනවා. අගමැතිතුමා නව ව්‍යවස්ථාව හදනකොට මේ වගන්ති ඇතුළත් කරාවි.කොහොම වුණත් වික්ටර් රත්නායක මහතාව යොදාගෙන මේ කළ දේ සම්බන්ධව මට ඇතිවන්නේ බරපතළ වේදනාවක්. ඒ වගේම වික්ටර් රත්නායක මහතා ගැන විශාල අනුකම්පාවක් ඇති වෙනවා.මිනිසුන් මරණ බිය, රෝග බිය ඇති වුණාම නොකරන දෙයක් නැහැ. මේ වටපිටාව හඳුනා ගන්නා ඇතැම් පාර්ශ්ව ඔවුන් වෙත ළංවෙනවා. ඊළඟට නින්දිත උපක්‍රම යොදාගෙන අවිද්‍යාව පතුරවනවා. විවිධ උපක්‍රම යොදාගෙන ඒ අසරණ වුණු මිනිස්සුන් විවිධ දේ සඳහා යොදා ගන්නවා. මම මේ ප්‍රශ්නය දිහා බලන්නේ ඒ විදිහටයි.” මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පැවැසූහ.

අපේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැසක් උරුම වී තිබේ. ඒ අතර ආර්ථික හා ආගමික නිදහස මෙන්ම දේශපාලන නිදහසද ඇත. එහෙත් බොහෝදෙනකු ඒ සියලු නිදහස පාවිච්චි කරනු පෙනෙන්නේ වෙනත් වුවමනාවන් වෙනුවෙනි.

“කෙනෙක් කාලි මෑණියෝ ගැන කියාගෙන දේවාල පුම්බන එකත් බුදු දහමට පහර ගැසීමක්. ඒ වගේම විවිධ ආගම්වල ඉන්නා අන්තවාදීන් විවිධ ආගමික නිකායන් හදාගෙන මිනිසුන්ගේ ඔළු වෙනස් කරන එකත් වෙනම බලපෑමක්. ඒවා ගැන කතා නොකරන අය වික්ටර් රත්නායකයන්ගේ ප්‍රශ්නය විතරක් ඇදලා ගන්නේ ඇයි? ඒ මනුස්සයා වෙලාවේ හැටියට හරි කියලා හිතපු දෙයක් කළා.”

වික්ටර් රත්නායකයන් වෙනුවෙන් පෙනී සිටින ඇතැමුන් මුහුණු පොතේ එසේ ලියා තිබිණි.

කෙසේ හෝ මේ වනවිට අපට දැනගන්නට ලැබී තිබෙන්නේ වික්ටර් රත්නායක තම ආගම එසේත් නැතිනම් බුදු දහම අතහැර නැති බවයි. හෂිනි අමේන්ද්‍රාත් පවසන්නේ එයමය.

ආචාර්ය වික්ටර් රත්නායක යනු මෙරට සිටිනා ගායක ගායිකාවන් අතරින් බොදු ගී රැසක් ගැයූ ප්‍රබුද්ධ ගායකයෙකි. ඔහු විශ්වවිද්‍යාල සිසු සිසුවියන් උදෙසා කළ දේශනවලදීත් ඉස්මතුකොට පෙන්වා දී ඇත්තේ මේ කාරණය. ඒ සඳහා ඇතැම් බෞද්ධ හා හරවත් ගීතවල ඇති කොටස් හුවා දක්වන්නේ සාරවත් ලෙසය.

මේ සියලු කාරණා සැලකිල්ලට ගැනීමේදී වික්ටර් ආගමිකව හරවා ගැනීම පහසු නැත. එසේ වුවත් එහි පැවැත්මක්ද නැත. මන්ද වික්ටර් ගී ගැයුවේත් කතා කළේත් මෙරට අතිමහත් බෞද්ධ හා කතෝලික රසික රසිකාවියන්ට නිසාය. වික්ටර් ආදරය කරන වික්ටර්ව රැක ගත යුතු යැයි අවංකවම සිතන අය ඒ වටපිටාව නොදැන සිටිනවා යැයි අප සිතන්නේ නැත.

“වික්ටර්ට නැතිවී ගිය කටහඬ දුන්නා යැයි කියන රාවය ඔස්සේ තමයි මේ ප්‍රශ්නය මතුවුණේ. ඇත්තටම වික්ටර් ශල්‍යකර්මයෙන් පසුවත් කතා කළා. ගීතත් ගැයුවා. ඔහු දේවගැතිවරයා ළඟට ගියේ තවදුරටත් ඒ වෙනුවෙන් දේව ආශීර්වාදයක් ලබා ගන්න විතරයි. ඔහුට ඒ අයිතිය නැද්ද?” වික්ටර් රත්නායකයන්ව ළඟින් ඇසුරු කරන කලාකරුවෙක් එසේ කීවේය.

“අපි කලබල වෙන්නේ නැතිව බලා ඉඳිමු. වික්ටර් රත්නායක මහත්තයා ඉදිරියේදී කරන කියන දේ අනුව තවදුරටත් අපි කතා කරමු. ඔහු කොහොමද මෙච්චර කාලයකට ගැයූ බුදුගුණ අඩංගු ගීත නොගයා ඉන්නේ?” වික්ටර්ගේ මිතුරෙක් එසේද කීවේය.

සමාජ මාධ්‍ය හරහා ශීඝ්‍රයෙන් හුවමාරු වූ වික්ටර්ට කටහඬ දෙන වීඩියෝවෙත් තිබුණේ වික්ටර්ම හදිසියේ තෝරාගත් ගීතයක්. ඒ ආදරයේ උල්පත වූ අම්මාය. එහි ඔහු ගැයුවේද “ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවණ පතා අද මෙන් පැමිණෙන්නම් අතැඟිල්ලේ එල්ලී” යනුවෙනි.

සැබෑ ලෙසම වික්ටර් යා යුතු වන්නේත් ඒ මඟේම නොවේද?

දේව ආශීර්වාදය ලබා ගැනීමට වික්ටර් අයිතියක් ඇත්තා සේම ඔහුට හුරුපුරුදු ඒ බුදු මඟෙහි යන්නත් ඔහුට හැකි විය යුතුය. අප කලබල නොවී ඒ දෙස බලා සිටිනවා හැරෙන්නට වෙන කළ යුතු දෙයක් නැත. මන්ද වික්ටර් අයිති වික්ටර්ට මිස අපට නොවේ.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

ඒ සම්බන්ධ අපගේ පෙර පුවත් – කසාදෙට අත්සන් කරේ මං.දවසක් වික්ටර්ගෙ ගෙදර යද්දි බුදු පිළිමෙ නෑ.

වික්ටර් රත්නායක දේවාශිර්වාදයෙන් රෝග සුව කරන පූජාවක.. කටහඬ සුවපත් වූ බව කියයි…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?