නවසීලන්තයේ සිට ‘ගෝඨා ගෝ’ කියන්න ඇවිත් නොඑන ගමන් ගිය අප්සරා

වැලිවේරිය වෑබඩ ගම්මානයේ අප්සරාවක් වගේ ලස්සන අප්සරා කල්පනි කියන්නේ සුන්දර යුවතියක්. මේ කියන ලස්සන අප්සරා පදිංචිව සිටියේ. නවීන විලාසිතාවලට වගේම හොඳින් හැඳ පැලඳ රූපලාවණ්‍ය සඳහා යොමුවී ඇය ගතකළේ සමාජීය ජීවිතයක්ය. පවුලේ අයගේ වගේම හිතමිතුරු හැමෝගෙම ආදරය ඇයට හිමිවූයේ ඇය සැමටම සිනහවෙන් දැක්වූ ප්‍රතිචාර නිසාය. සහෝදරියකගේ සහ සහෝදරයකුගේ වැඩිමහල් සොහොයුරිය වූ අප්සරා සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කළේ තමන්ගේ මෙන්ම ඇයගේ දෙමාපියන්ගේද බලාපොරොත්තු මල්පල ගන්වමිනි. 37 හැවිරිදි අප්සරා මෙරට විශ්වවිද්‍යාලයක බාහිර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළ අතර මීට වසර කීපයකට පෙර නවසීලන්තයට යන්නේ එරට විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හැදෑරීමේ සහ එරටින් රැකියාවක් සොයාගැනීමේ අරමුණ ඇතිවය.

අප්සරාගේ ඥාතීන් කිහිප දෙනෙකුම මාතර කැකණදුර පදිංචිව සිටිති. අප්සරාත් පාසල් අවධියේ සිටම හැකි සෑම අවස්ථාවකම කැකණදුරට යන්නීය. ගම්ආරච්චිගේ මියැසිය පදිංචි වී සිටියේත් මාතර කැකණදුරය. අප්සරාත් මියැසියත් මුලින්ම මුණගැසුණේ කැකණදුර ගමේදීය. ඒ 2016 වසරේ එක් දවසකය. එසේ මුණගැසී දෙදෙනා අතර ඇතිවූ මිතුරුදම ආදර සම්බන්ධයක් තරම් දුරදිග යන්නට වැඩි කාලයක් ගතවූයේ නැත. දෙදෙනාගේම පසුබිම් මනාව ගැලපුණු බැවින් පවුල් දෙකෙන්ම ඔවුනට ආශිර්වාදය හිමිවිය.

මියැසිය සේවය කළේ කොළඹ පෞද්ගලික ආයතනයක විධායක කළමනාකාරවරයකු හැටියටය. වසර තුනක් පෙම්වතුන්ව සිටි මේ යුවළ 2019 වසරේදී විවාහ වී කොළඹ තදාසන්න ප්‍රදේශයක කුලී නිවසකට පදිංචියට පැමිණ පවුල් ජීවිතය ආරම්භ කළෝය. ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට නම් විදෙස්ගතවීම වඩාත්ම සුදුසු යැයි ඔවුහු තීරණය කළහ.

ඔවුන් විසින් ඒ සඳහා නවසීලන්තය තෝරා ගත්තේ අධ්‍යාපනය සහ රැකියාව යන දෙකටම එය හොඳම රටක් වූ බැවිනි. එයට අවශ්‍ය සහතික විදෙස් ගමන් බලපත්‍ර ආදිය ලහි ලහියේ සූදානම් කරගැනීමට දෙදෙනාම කටයුතු කළෝය.

2021 වසරේ ලංකාව පුරා කොරෝනා වයිරසය ව්‍යාප්ත වී තිබීමෙන් රටම පැවතියේ අගුළු දමාය. මියැසියටද කොරෝනා වයිරසය ආසාදනය විය. මේ දෙදෙනාටම වීසා ලබාදීමේ සම්මුඛ සාකච්ඡාවකට නවසීලන්ත තානාපති කාර්යාලයෙන් කැඳවීම් ලැබෙන්නේද මියැසියට කොරෝනා වැලඳී තිබීයදීය. මේ අනුව එම සම්මුඛ සාකච්ඡාවට යාමට හැකිවූයේ අප්සරා ට පමණි. අප්සරා බලාපොරොත්තු වූ විශ්වවිද්‍යාලයේ උපාධිය හැදෑරීමට අවස්ථාව එමගින් උදා වී තිබුණත් මියැසියගේ වීසා අයැදුම නවසීලන්ත තානාපති කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කර තිබුණේය.

අවසානයේ අප්සරාට හිමිවූ අවස්ථාවට ඉඩ දී ඇයව එහි යවා, තමන් පසුව ඇය වෙත යෑමේ අරමුණින් මෙරට තවදුරටත් රැඳී සිටීමට මියැසියට අකමැත්තෙන් හෝ තීරණය කිරීමට සිදුවුණි.

මේ අනුව 2021 වසරේදී නවසීලන්තය බලා ගිය අප්සරා මියැසිය සමගින් වට්ස්ඇප් හරහා සම්බන්ධ වුවත් කෙටි කලකින් සියල්ල නැවතී ගියහ. මියැසිය ඇය කෙරෙහි ඇතිකරගත් සැකය ඊට හේතු විය. ඔහු සිතුවේ අප්සරා වෙනත් අයකු හා පෙම් සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා කියාය.

‘‘තමුසේ දැන් හරි වෙනස්. හිතුවද මම මොනවත් දන්නේ නැහැ කියලා. තමුසෙට ඉන්නවානේ දැන් එහේ උන්. මම බලාගන්නම් තමුසෙ ගැන’’ යැයි වරෙක මියැසිය දුරකථනයෙන් අප්සරාට චෝදනා කළේය.

එම චෝදනාව දෙදෙනාගේ ආදරය දෙදරා යන්නට ප්‍රබලම හේතුව විය. මියැසියගේ දුරකථන අංකය අවහිර කිරීමට පවා අප්සරා කටයුතු කළාය. මෙයින් බරපතළ මානසික පීඩනයකට ලක්ව සිටි මියැසිය සිය බිරිඳගේ වෑබඩ ගෙදරට ගොස් ඇයගේ දෙමාපියන් හා වරින් වර ගැටුම් ඇති කරගත්තේය. මියැසිය තම පවුලට හූනියමක් යැයි අප්සරාගේ දෙමාපියෝ චෝදනා කරන්නට විය. අප්සරා මියැසියගෙන් දික්කසාදය ඉල්ලා සිටියේද මෙවැනි තත්ත්වයක් මැදය.

‘‘මට තමුසෙත් එක්ක තවදුරටත් ජීවත් වෙන්න බැහැ. තමුසේ මටයි මගේ පවුලේ අයටයි කරන හිරිහැර හොඳටම ඇති. කරුණාකරල දික්කසාදය දෙනවා’’ යැයි වෙනත් දුරකතන අංකයකින් මියැසිය ඇමතූ අප්සරා කියන්නට විය. එය අප්සරා විසින් මියැසියට ගත් අවසාන ඇමතුමද විය. මෙදින මියැසිය සහ අප්සරා දැඩිව එකිනෙකාට දොස් පවරාගෙන තිබිණ.

කෙටි කලකින් කොළඹ කුලී නිවසක පදිංචිව සිටි මියැසිය මාතර කැකණදුර නිවසට යන්නේද අප්සරා හා දැඩි වෛරයකිනි. මියැසියට අප්සරා කෙරෙහි තැබූ ආදරයේද අඩුවක් නොවූයේය. අප්සරා නැතත් වෙන කෙල්ලෙක් සමගින් හෝ සම්බන්ධයක් ඇති කර ගැනීමටද ඔහු අකැමැති විය. මෙවන් තත්ත්වයක් මැද නවසීලන්තයේ සිටි අප්සරා පසුගිය සතියේ රහසේම මෙරටට පැමිණියාය.

ඇය මෙලෙස හදිසියෙන්ම කෙටි නිවාඩුවක් ලබාගෙන මෙරටට ‘ඉරණම් ගමනක්‘ පැමිණියේ ගෝඨා ගෝ ගමට ගොස් අරගයට සිය සහය දැක්වීමටය. එය මේ මොහොතේ ශ්‍රී ලාංකිකයෙක් ලෙස තම යුතුකමක් බව ඇය තම ඥාතී හිතවතුන් වෙත පවසා තිබුණි. අප්සරා, නවසීලන්තයෙන් පිටත්ව ඒමට පෙර, මෙරට අරගලයට සහය පළකරමින් නවසීලන්තයේ වෙලින්ටන් හී පැවැති විරෝධතාවලද පෙරමුණේ සිටියාය.

නවසීලන්තයේ වැඩිම අලෙවියක් සහිත ජාතික පුවත්පත වන ‘නිව්සීලන්ඩ් හෙරල්ඩ්’ විසින් අප්සරාගේ ඝාතනය සම්බන්ධයෙන් පුවතක් පළ වූ අතර එහි සඳහන් කර තිබුණේ ද, ශ්‍රී ලංකාවට යෑම පිණිස ඇය හදිසියේ තීරණය කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ඉල්ලා අස්වන ලෙසින් පැවැත්වෙන දැවැන්ත විරෝධතාව සඳහා සහභාගී වීමේ අරමුණින් යුතුව බවයි.

ඇය රට ඉඳන් එන වග අඩුම තරමේ ඇයගේ මව හෝ දන්නේ නැත. මේ ගැන මියැසිය ද හාංකවිසියක් හෝ දැනගැනීමට අවස්ථාවක් තිබුණේ ද නැත. කෙසේ හෝ අප්සරාගේ ගමේ අසල්වැසියකු මාර්ගයෙන් තම බිරිඳ ලංකාවට පැමිණ ඇතැයි මියැසියට ආරංචි විය. ඔහු අප්සරා කෙරෙහි තබා තිබූ වෛරය නිසාම පසුගිය 24 වැනිදා මාතර සිට කොළඹ එන්නේ මාතර නගරයෙන් මිලදී ගත් මන්නයක්ද රැගෙනය. මෙදින රාත්‍රී හත පමණ වන විට වැලිවේරිය නිවස ආසන්නයට පැමිණි ඔහු පසුපස දොරින් නිවසට ඇතුළු වූයේය.

එතැන් පටන් විනාඩි කිහිපයක් අවසානයේ මියැසිය අතින් එසැවුණු මන්නා පහරින් අප්සරාගේ ජීවිතය හමාර වූවා පමණක් නොව, එය වැලකීමට ගිය අප්සරාගේ සොයුරිය සහ යෙහෙළියක්ද බරපතළ තුවාල ලැබූහ. එතැනින් නොනැවතුණු මියැසිය සියතින් ගෙල කපාගනිමින් නිවස අසල ඇති ළිඳට පැනන්නද ඔහුට ජීවිතය හැරයෑමේ අවස්ථාවක් නොවීය.

ගම්වාසීන් විසින් මේ බව වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන දැනුවත් කළහ. ඒ වැලිවේරිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක අයි. ඩී. ජයතිස්ස ඇතුළු පොලිස් නිලධාරීන් විසින් මෙම අපරාධයේ පරික්ෂණ ආරම්භ කළෝය. මෙම ඝාතනයට අදාළව අප්සරා නමැති මියගිය කාන්තාවගේ සැමියා වන ගම්ආරච්චිගේ මියැසිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කළේ තමා අමතක කරමින් ඇය වෙනමම ජීවත් වීමට උත්සහා කළ බවය. ඇය තමන් රැවටීමට ලක් කළ බවත් මේ නිසා ඇයවත් මරා තමාද මරණයට පත්වීමට තීරණය කළ බවය.

මෙම සිදුවීම් මාලාව හැරුණු විට මියැසියගේ ඉතිහාසයේ අන් තැනක, ඔහු සතුව ප්‍රචන්ඩකාරී ලක්ෂණ තිබූ බවට සඳහනක් නැත.ඔහුට හොඳ පවුල් පසුබිමක් තිබුණි. එය උගත් පවුලකි. පියා ප්‍රකට ගේය පද රචකයෙකි. ගීතය ඒ පවුල සමග කෙතරම් බද්ධවීද යත් පවුලේ දරුවන්ට නම් තැබුණේද ගීතයට ඥාතිවන ලෙසය. ඔහුට ‘මියැසිය’ යැයි නම් ලැබෙනුයේද එනිසාය. නමුත් ඒ ජීවන සොඳුරු ස්වර මැවූ සංයමයේ තත් කිසිවෙකුත් සිහිනයකින් හෝ නොසිතූ ලෙසින් බිඳී ගියේය. අද ඇය අප අතර නැත. ඔහු රෝහල් ඇඳ මතම මිනී මැරුම් චෝදනා සහිත සිරකරුවෙකි.

නොගැලපීම් දරාගැනීමට හුරුවීම වෙනුවට මරාගැනීමට සිත් පහළවීම සොඳුරු අනාගතයන් දෙකක් අඳුරු කළ හැටි…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?