ශ්‍රී ලංකාව මුහුණදී සිටින උග්‍ර ආර්ථික අර්බුදයට පාර කපා, පසුව චීනය බොරදියේ මාළු බාමින් සිටින බව අප අනාවරණය කරන ලද්දේ වරක් දෙවරක් නොවේ. චීනය කිසිදු විටෙක ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික සමෘද්ධියක් ප්‍රර්ථනා කර නැති බව ගෙවීගිය දශකයක කාලයේදී මෙරටට සිදුකර ඇති මැදිහත්වීම් දෙස බැලීමේදී පැහැදිලිවම පෙනියනවා. චීනය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සවර්ධනය කරන බව පවසමින් ප්‍රසිද්ධියේ මෙරට ආර්ථික ක්‍රියාවලියට මැදිහත් වන ලද්දේ 2010න් අනතුරුවය.
එවකටද දිවයිනේ දේශපාලන බලය අත්පත් කරගෙන සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද සිය අරමුණුවලට ග්‍රහණය කරගැනීමට චීනයට එතරම් අපහසු වුණේ නැහැ. විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මෙන්ම එම ආණ්ඩුවේ ඉහලම වගකීම් දරන පිරිසක්ද කොමිස් මුදල් වලින් ග්‍රහණය කරගනිමින් දිවයිනේ මහාපරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක්ම චීනය තමන් සන්තක කරගැනීමට සමත් වුණා.
එහිදී විශේෂයෙන් දේශපාලකයන් ඇතුළු අතරමැදියන්ට විශාල ලෙස කොමිස් මුදල් ලබාදීමේ ගැටළුවක් චීනයට නොවූයේ අදාළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ලබාදීම චීන බැංකු ඔස්සේ සිදුකරන අතර, එම ව්‍යාපෘති සියල්ලද මහා පරිමාණ චීන ඉදිකිරීම් භාර සමාගම් විසින් සිදුකිරීම හේතුවෙනි. එමනිසා ඩොලර් මිලියන 500ක සැබෑ වටිනාකමක් සහිත ව්‍යාපෘතියකට තවත් ඩොලර් මිලියන 500ක් අල්ලස් වශයන් ගෙවා ක්‍රියාත්මක කළද චීනයට වන පාඩුවක් නැහැ. හේතුව ව්‍යාපෘතියේ සමස්ත වියදම ශ්‍රී ලංකා ජනතාව විසින් සිය විදේශ ණය වශයෙන් ප්‍රශ්න කිරීමකින් තොරව ගෙවාදමන බව රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම චීන රජයද දැන සිටීමය.
මේ නිසා කිසිදු ගැටලුවකින් තොරව 2013 වසර පමණ වනවිට සිය එක් මාවතක්-එක් තිරයක්(BRI) වැඩසටහනේ දකුණු ආසියාව පහල කෙලවර, එනම් ශ්‍රී ලංකාවේ හම්බන්තොට පදනම් කරගෙන සිය මිලිටරි මූලෝපායික මර්මස්ථානයක් හෙවත් වරායක් ඇතුළුව දිවයින යම් පමණකට පාලනය කළහැකි මට්ටමේ ව්‍යාපෘති රැසක් අත්පත් කරගැනීමට චීනය සමත් වුණා.
හම්බන්තොට වරාය, හම්බන්තොට අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාව සහ කොළඹ නෙලුම් කුළුණ වැනි ඒ අතුරින් දැවැන්තම ව්‍යාපෘති රැසක්ම සුදු අලින් බවට පමණක් පත්ව ඒවාට ලබාගත් දැවැන්ත ණය හේතුවෙන් ශ්‍රී ලංකාව ‘චීන බූවල්ලාගේ’ ණය උගුලේ සිරවෙද්දී, චීනය ඉතා පහසුවෙන් ණය ගෙවාගත නොහැකි හම්බන්තොට වරාය වැනි මූලෝපායික ව්‍යාපෘති මුළුමනින්ම, ණයට හිලව් කරගනිමින් තමන් සන්තක කරගැනීමට චීනය සමත් වුණා. අවසානයේ තවත් වසර 10කට පසුව, එනම් 2022 වනවිට ශ්‍රී ලංකාවට වැඩියෙන්ම ණය ලබාදී ඇති තනි රට බවට පත්ව සිටින චීනය, රටේ සමස්ත ණය කන්දෙන් සියයට 13ක් පමණ වන එම කොටස ආපසු ගෙවීමට සහන අයැදින විට පසුපස හරවන තරමටම ඉතාම නරුම ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා.
දැන්, ඉතිහාසයේ වඩාත් උග්‍රම ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටියදී චීනය විසින් ‘මානුෂිය ආධාර’ නමින් ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රටපුරා බෙදීම ආරම්භ කර තිබීම දෙස බැලිය යුත්තේ ඉහතකී වසර 10කට වැඩි චීන-ශ්‍රී ලංකා ඉතිහාසයද සමගිනි. සිය පෙර ක්‍රියාකාරකම්වලදී මෙන්ම චීනය මෙවර ‘සහන මලු’ බෙදිමේදී ද සිය වංචනික අනුකම්පාසහගත බව හොඳින්ම ප්‍රදර්ශනය කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ පටන් චීනය සමග ගනුදෙනු කරන මෙරට සියලුම දේශපාලකයන් සහ නිලධාරීන් ඉල්ලා සිටින්නේ, මේ මොහොතේ චීන ණය මදක් කල්දමා, මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට සහාය දෙන ලෙසය.එහෙත් එම ඉල්ලීම හමුවේ නෑසු කන්ව සිටින චීනය, ඒ වෙනුවට රටේ අගහිඟකම් වලින් පෙලෙන ජනතාවට සහන මලු බෙදන බව නිවේදනය කරනු ලබනවා. එම බෙදීම සිදුකරන්නේද මෙරට දේශපාලන පක්ෂ හරහාය.
එනම්, චීනයට මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ ආර්ථික අර්බුදයට මුවාවී මෙරට දේශපාලන ක්‍රියාවලියට මැදිහත්වීම මිස අන් කිසිවක් නොවේ. මිට අමතරව ඩොලර් බිලියන 02ක පමණ ණය මුදලක්ද මෙරටට ලබාදීමට චීනය කැමැත්ත පළකර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරනවා. එහෙත් එම මුදල ඉන්දියව විසින් මේ මොහොතේ ශ්‍රී ලංකාවට ලබාදෙමින් සිටින ‘සහන ණය පහසුකමක්’ මෙන් කිසිදු ආකාරයක මාධ්‍ය හෝ දිගුකාලින ප්‍රතිඵල ලබාදෙන්නක් නොවේ.
චීනය මෙසේ ලබාදීමට කැමැත්ත පළකර ඇත්තේ සිය ණය අයකරගැනීම වෙනුවෙන් වූ තවත් ණය මුදලක් පමණකි. එය පෙර ලබාදී ඇති වානිජ ණයවලදී මෙන් අධික පොලියක් අයකෙරෙන ණයක් මිස අන් කිසිවක් නොවේ. ඒ අනුව එය ශ්‍රී ලංකාව තවදුරටත් චීන බූවල්ලාගේ ග්‍රහණයට නතුකරවන්නකි.
අවසානයේ චීනයේ මෙම මාරාන්තික මැදිහත්වීම නිසාම ආර්ථික අගාධයකට ගමන් කළ ශ්‍රී ලංකාව, යම්කිසි හෝ සහනයක් ලබාගැනීම වෙනුවෙන් අන්තර්ජාතික මුල්‍ය අරමුදල කරා ගමන් කරන විටදී දැන් ‘හරහට’ සිටින්නේද ශ්‍රී ලංකාව මෙම වලට ඇදදැමූ චීනයමය. එනම්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ක්ෂණික ණය පහසුකමක් (RFC) ලබා ගත නොහැකිව ඇත්තේ මෙරටට ණය ලබා දී ඇති ප්‍රධානම ණය හිමියන්ගේ එකඟතාවක් නොමැති නිසා බව වොෂින්ටනයෙන් ලැබෙන වාර්තා සඳහන් කරනවා.
ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානම පාර්ශ්ව දෙක වන්නේ ඉන්දියාව සහ චීනයයි. ශ්‍රී ලංකාවට කඩිනමින් සහන සලසන ලෙස ඉන්දියාව මේ වන විටත් නිල වශයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් කර ඇති නමුත්, චීනය මෙතෙක් තම පාර්ශ්ව විසින් ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමකට කැමැත්ත පළ කර නැහැ.
පසුගිය අප්‍රේල් 18 වැනිදා වොෂින්ටනයේදී මුදල් ඇමැති අලි සබ්‍රි ඇතුළු පිරිස මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග සාකච්ඡා ආරම්භ කරනු ලැබුවා. එහිදී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීමක් වූයේ IMF විසින් ප්‍රධාන ණය වැඩසටහන ක්‍රියාත්මක කරනතුරු මෙරටට ක්ෂණික ණය මුදලක් (RFC) ලබා දෙන ලෙසය.
එහිදී IMF විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධානම කොන්දේසියක් වූයේ RFC පහසුකම ලබාදීමට නම් ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් ණය හිමියන් විසින් පිළිගත් වැඩසටහනක් පළමුව සකස් කළ යුතුය යන්නය. එසේම සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති ප්‍රධාන පාර්ශ්ව එකඟවිය යුතු බවද එහිදී IMF විසින් පෙන්වා දී තිබෙනවා.
IMF මෙම කොන්දේසිය සම්බන්ධයෙන් චීනය මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වෙනුවට එම ණය ගෙවා දැමීම නව ණය මුදලක් ලබා දීමට පමණක් එකඟතාව පළ කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් 21 වැනිදා විදේශ ඇමැති මහාචාර්ය ජී.ඇල්. පීරිස් කොළඹ චීන තානාපති චී චෙන්ග්හොන්ග් හමුවී සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කර දෙන ලෙසට විශේෂ ඉල්ලීමක්ද කළ නමුත් එහිදීද තානාපතිවරයා ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබුනේ නැහැ. ඉහත හමුවෙන් අනතුරුව විදේශ ඇමැතිවරයා රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවට IMF වෙතින් ණය පහසුකමක් ලබා ගැනීමට තවත් මාස 06ක් පමණ කාලයක් ගත වනු ඇති බවය. ඒ අනුව මේ වන විට IMF වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට කඩිනම් ණයක් ලබාගැනීමට මේ මොහොතේ පවතින ප්‍රධානම බාධාව බවට පත්ව ඇත්තේ චීනයයි.
ඒ අනුව අවසාන වශයෙන් කිවහැක්කේ ශ්‍රී ලංකාව කඩිනමින් චීනය සමග පවතින ණය ගනුදෙනු ‘සිහිබුද්ධියක් සහිත’ ක්‍රමවේදයකට සකස්කර නොගතහොත් ඉතාම ඉක්මනිස් තමන් සතුව සිටින ඉන්දියාව වැනි සිමිත සගයන් පිරිසද ඉතාම ඉක්මනින් අහිමිකරගන්නා බව පමණකි.