පූජිත් සහ හේමසිරි නිදොස්කොට නිදහස් කළ හේතුව

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) නියෝග කර තිබුණි.

ඔවුන්ට එල්ලවී තිබුණේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම, මිනීමැරුම ඇතුළු චෝදනාය.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු වී නොමැති හෙයින් විත්තිවාචකය නොකැඳවාම ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරු මඩුල්ල සඳහන් කර තිබුණි.

විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා විත්තිකරුවෙකුට “නොකර හැරීමක්” සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන අවස්ථාවක ඒ බව තහවුරු කිරීම සඳහා ඊට “චේතනාවක්” තිබූ බවද ඔප්පු කිරීම අවශ්‍ය බව සඳහන් කළේය.

එහෙත් මෙම නඩුවේ දී විත්තිකරු යම් පැහැර හැරීමක් සිදුකර තිබුණේ නම් එය චේතනාන්විතව සිදු කර තිබූ බව සාක්ෂි මඟින් ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වූ බව ද විනිසුරුවරයා සඳහන් කළේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්  “නොකර හැරීම” හේතුවෙන් මිනී මැරීම් සිදු කළ බවට විත්තිකරු වෙත එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව පෙන්වා දුනි.

“මෙම නඩුවේ පළමුවන සාක්ෂිකාර  රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් අධිකරණය හමුවේ දුන් සාක්ෂිය මගින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට ලැබී තිබූ තොරතුර නිශ්චිත බුද්ධි තොරතුරක් නොවූ බව පිළිගෙන තිබුණා. එම තොරතුරු සියයට සියයක් නිවැරදි බව පෙනී යන්නේ නැහැ. ප්‍රහාරය එල්ල වන වකවානුවේ රටේ පැවති දේශපාලන වාතාවරණය මත ඇතැම් පුද්ගලයින් බුද්ධි සමාලෝචන රැස්වීම්වලට කැඳවීම සම්බන්ධයෙන්ද විත්තිකාර ආරක්ෂක ලේකම්වරයා වෙත සීමා පනවා තිබු බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන දුන් සාක්ෂියෙන් අනාවරණය වුණා.”
“ජාතික බුද්ධි ප්‍රධානියාට නිසි බලතල නොතිබූ බවද ඔහුගේ සාක්ෂීයෙන් අනාවරණය වුණා. එම නිසා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා විසින් විත්තිකාර ආරක්ෂක ලේකම්වරයාට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරක් ලබා දුන් බවට සාක්ෂි ඉදිරිපත් වී නැහැ,”යනුවෙන් විනිසුරු ඉර්ෂඩීන් ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් කරුණු දක්වූ විනිසුරු ඉර්ෂඩීන් මහතා, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත බුද්ධි තොරතුරු සැපයීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වී ඇති බව පැවසීය. 

“මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මුලින්ම 2019 අප්‍රේල් මස 4වන දා විදේශයකින් තමන්ට තොරතුරක් ලැබුණු බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ප්‍රකාශ කළා. එම තොරතුර බුද්ධි තොරතුරක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා තමන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් අධිකරණය හමුවේ පැහැදිලි කළේ නැහැ. ඔහු සඳහන් කරන්නේ මෙම තොරතුර තමන්ට විදේශයකින් ලැබුණු බව පමණයි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් තමන්ට ලබාදුන්  තොරතුරට අවශ්‍ය පියවර ගැනීම සඳහා විත්තිකාර ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා. එම නිසා විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා “නොකර හැරීමක්” සිදු කළ බවට එල්ල කරන චෝදනාව  ඔප්පු කිරීමට ප්‍රබල හා කාවදින සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව අපට පෙනී යනවා. මෙම නඩුව ගොනු කිරීමට පෙර ඒ පිළිබඳව දෙවරක් සිතා බලන්න තිබුණා.” යනුවෙන් විනිසුරුවරයා පැවසීය.

සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා, “මෙම නඩුවේ පළමු සාක්ෂිකරු වශයෙන් සාක්ෂි දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා සිය වගකීම පැහැර හැර එය ජාතික බුද්ධි ප්‍රධානියා මත පැටවීමට කටයුතු කළ ආකාරයක් පෙනී යන බව සඳහන් කළා. සිද්ධිය වූ වකවානුවේ රටේ පැවති දේශපාලන වාතාවරනය හා රජය තුළ පැවති අර්බුද පිළිබඳව සාක්ෂි විභාගයේ දී කරුණු අනාවරණය වුණා. එම තත්ත්වය හමුවේ තීරණ ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා අසරණ තත්ත්වයක පසුවූ බවත් පෙනී යනවා. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ඉතා සංවේදී කරුණක්. එම ප්‍රහාරයෙන් කිතුණු භක්තිකයන් විශාල පිරිසක් මියගියා. තවත් පිරිසක් තුවාල ලැබුවා. තවත් පිරිසකට දෙමව්පියන් හා ඥාතීන් අහිමි වුණා. සංවේදී කරුණක් සම්බන්ධයෙන් නිසි විමර්ශනයකින් තොරව කවර හෝ පුද්ගලයකුට නඩු පැවරීම අනුමත කරන්න බැහැ. රාජ්‍ය නිලධාරීන්ට අපරාධ චෝදනා එල්ල කිරීමේ දී වඩා ප්‍රවේශම්කාරී වියයුතුයි.”

“දේශපාලන අධිකාරියක් පවතිද්දී රාජ්‍ය නිලධාරීන්ට පමණක් මෙලෙස නඩු පැවරීම යුක්ති සහගත නෑ. එම නිසා මෙම නඩුවේ පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියාගේ සාක්ෂිය මෙහෙයවීමෙන් පසුව අනාවරණය වූ කරුණු ඔස්සේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද? යන්න තීරණය කිරීමට පවා පැමිණිල්ලට හැකියාවක් තිබුණා. නඩුවේ විත්තිකරු අත්අඩංගුට ගැනීම පවා ගැටළු සහගතයි,” යනුවෙන් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබුණද එම ප්‍රහාරය එල්ල වන දිනය සහ ස්ථානය පිළිබඳව නිශ්චිත තොරතුරු ඉදිරිපත් කිරීමට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා අසමත් වී තිබූ බව පැවසීය.

“පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා සිය සාක්ෂිවලින් කොළඹ තදාසන්න ප්‍රදේශවල ස්ථාන අටකට ප්‍රහාර එල්ල වන බවට සඳහන් කර තිබුණා. එහෙත් එම තොරතුරු තුළින් “පල්ලිවලට හෝ හෝටල්වලට” ප්‍රහාර එල්ල කරන බවට සඳහන් කර තිබුණත් එම ස්ථාන පිළිබඳව නිශ්චිතව සඳහන් කර තිබුණේ නැහැ. මෙවැනි තොරතුරක් සම්බන්ධයෙන් විත්තිකාර පොලිස්පතිවරයාට ප්‍රායෝගික පියවරක් ගැනීම අපහසුයි. මෙම බෝම්බ පිපිරීම් මාලාව කෙටි කාලයක් තුළ සිදුවී ඇති බව සාක්ෂි මගින් අනාවරණය වුණා. ඒ අනුව විත්තිකරුට ලැබුණු තොරතුරු මත එය වැළැක්වීමට ප්‍රමාණවත් කාලයක් තිබූ බව පෙනී යන්නේ නැහැ. එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වී තිබෙන බවත් සාක්ෂිවලින් පෙනී යනවා,” යැයි විනිසුරු නාමල් බලල්ලේ මහතා සඳහන් කළේය.

විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින්, “ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ලබාදුන් තොරතුරු විත්තිකාර හිටපු පොලිස්පතිවරයා විසින් ඔහු යටතේ සිටි නිලධාරීන් වෙත අවශ්‍ය පියවර ගැනීම සඳහා යොමුකර තිබූ බව සාක්ෂිවලින් අනාවරණය වුණා. ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා විසින් රාජ්‍ය නායකයා දැනුවත් කරන බවත් සාක්ෂිවලින් අනාවරණය වුණා. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි සේවයේ ප්‍රධානියා නොව ඔහු රජයේ බුද්ධි සේවයේ ප්‍රධානියා වෙයි. ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට ලැබුණු තොරතුර පිළිබඳව ඔහු විසින් යුද හමුදා බුද්ධි අංශය ඇතුළු ත්‍රිවිධ හමුදාව සමග සාකච්ඡා කර නැහැ.”  

“එවැනි තොරතුරු හුවමාරුවක් සිදුකිරීමට ඔහුට හැකියාව තිබුණා. එසේ නොකිරීම ගැටලුසහගත තත්ත්වයක්. මෙම සිදුවීම් මාලාව හොඳින් දන්නා පුද්ගලයෙකු තමයි එවක හිටපු ආරක්ෂක ලේකම් වරයා. එහෙත් පැමිණිල්ල විසින් ඔහු සාක්ෂියට කැඳෙව්වේ නැහැ. හිටපු ආරක්ෂක ලේකම්වරයා සාක්ෂියට කැඳෙව්වොත් පැමිණිල්ලට අවාසිදායක හෝ විත්තියට වාසිදායක සාක්ෂියක් ඉදිරිපත් වීම හේතුවෙන් එය සිදුකර නොමැති බවයි පෙනී යන්නේ,” යනුවෙන් සඳහන් කළ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සමස්ත සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී අදාළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සඳහා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින්ට විත්තිකාර හිටපු පොලිස්පතිවරයා විසින් ආධාර අනුබල දීමක් සිදුකර ඇති බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව විත්තිකාර හිටපු පොලිස්පතිවරයාද විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළහ.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා,

“මෙම නඩු වසර දෙකහමාරක් පමණ ඇදගෙන යාමට තිබූ නඩු දෙකක්. එහෙත් එය මාස හතක් වැනි කාලයක් තුළ අවසන් කිරීමට අපට හැකි වුණා. ඊට මාගේ සහෝදර විනිසුරුවරු දෙදෙනාත්, රජයේ නීතිඥවරු, විත්තියේ නීතිඥවරු සහ අධිකරණ කාර්ය මණ්ඩලය ලබාදුන් සහයට ස්තුතිය පළ කරනවා. යුක්තිය ඉටු කිරීමේ දී සියලු පාර්ශ්ව සතුටු කරන්න බැහැ,” යනුවෙන් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !