හලාවත පදවියට අයත් බෝල්වත්ත පරලෝක රාජේශ්වරී කතෝලික දේවස්ථාන සුසාන භූමියෙන් පුරාණ සොහොන් ගැබක් හමුවී තිබේ. දේවස්ථාන භූමියේ සිදු කළ නව ඉදිකිරීමක් සඳහා කරන ලද කැණීමකදී මෙම පුරාණ සොහොන් ස්මාරකය හමුවී ඇත.
මෙම ප්‍රවෘත්තිය ප්‍රදේශයේ කතෝලික ජනතාව අතර ආන්‍ෙදා්ලනයට හේතු වී ඇති අතර බෝල්වත්ත මීසම් පාලක නෙවිල් සෙබෙස්තියන් පියතුමාගේ දැඩි අවධානයටද යොමුවී තිබේ.
දැනටමත් සුසාන භූමිය තුළ සිදු කරමින් තිබූ අභිනව ඉදිකිරීම නවතා දමා ඇති අතර සුසාන භූමිය තුළ පැවැති එම සොහොන් ගැබ ආරක්ෂාකාරීව සංරක්ෂණය කරගැනීම සඳහාද පියවර ගනිමින් සිටී.
මෙම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාව දැඩි උනන්දුවක් යොමු කරනුයේ ශ්‍රී ලංකාවේ කතෝලික සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා පරලෝක රාජේශ්වරියගේ කතෝලික දේවස්ථානයේ වැඩ විසූ නිසාය.
කතෝලික බැතිමතුන් විශ්වාස කරන්නේ මෙලෙස හමුවී තිබෙන්නේ ගොන්සාල්වේස් පියතුමාණන්ගේ සොහොන් ගැබ බවය.
ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාගේ 280 වැනි සංවත්සරය මෙම වසරේ ජූලි 17 දිනට යෙදී තිබේ. මෙම සොහොන් ගැබ උන්වහන්සේගේ නම් එය හමුවීම ප්‍රාතිහාර්යයක් ලෙස කතෝලික බැතිමතුන් විශ්වාස කිරීම සාධාරණය.
පුරාණ සොහොන් හා ස්මාරක ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අපට තිබෙන්නේ ගෞරවනීය ඉතිහාසයක් නොවේ. කාලයාගේ ඇවෑමෙන් සිදුවන ස්වාභාවික විනාශයන්ගෙනුත්, කාලීන ලාභ ප්‍රයෝජන ගැන පමණක් සලකා කරන මානව ක්‍රියාකාරකම්වලිනුත්, පුරාවස්තූන් හා වැදගත් ඓතිහාසික ස්ථාන වනසන කුරිරු මිනිසුන්ගෙනුත්, දිවයිනේ ඇති ඓතිහාසික හා පොදු පිළිගැනීමට ලක්වූ ස්මාරක විනාශ වී ඇති බව පිළිගත යුතුය.
ලංකාවේ පුරාණ සොහොන් හා ස්මාරක පිළිබඳව, ඉතා අගනා ග්‍රන්ථයක් මෙරට සිවිල් සේවාවේ නියුක්තව සිටි J. Penri Lewis, c m g විසින් පළ කර තිබේ. (භද්‍රා ඉන්ද්‍රනි අමරකෝන් විසින් පරිවර්තනය කරන ලද) එම ග්‍රන්ථයට අනුව ක්‍රි. ව. 1501 සිට 1910 දක්වා කාලය තුළ මෙරටදී මරණයට පත්වූ යුරෝපීය ජාතීන්ගේ සොහොන් ස්මාරක විශාල ප්‍රමාණයක් පිළිබඳව කරුණු හෙළිකර තිබේ.
ලෙවිස් මහතා විසින් ඉතාමත් වැදගත් සමීක්ෂණයක් සිදු කර ඇති අතර අතීතය සටහන් කර ඇති වැදගත් ග්‍රන්ථ වැනි ස්මාරක ගැන දක්වා ඇති අඩු සැලකිල්ල ගැන කතුවරයා බොහෝ සේ කනගාටුව පළ කර තිබේ. ඔහු සඳහන් කරන්නේ ලන්දේසීන් යාපනයේ දේවස්ථානවල හා යාපනය කොටුව අසල සුසාන භූමිවල පෘතුගීසින්ගේ සොහොන්කොත් කඩා දමන ලද බවය.
සොහොන් කැබලි ඔවුන්ගේ කාලතුවක්කුවලට පිරවූ බවත්, ඔවුන් විසින් තබන ලද කාලතුවක්කු වෙඩි දිනපතාම සොහොන් කැබලි සමඟ යාපනය නගරයට ඇද වැටුණු බවත්ය. අවාසනාවන්ත පෘතුගීසීහු ඔවුන්ගේ ආදිතමයන්ගේ හා නෑදෑයන්ගේ සොහොන් කොත් කැබලිත් සමඟම වැනසුන බවත් ලන්දේසි හමුදාවේ සේවය කළ ජර්මාණු සෙබළකු ලෙවිස් මහතා සමඟ පවසා තිබේ.
එයින් පැහැදිලි වන එක කරුණක් වන්නේ යටත් විජිත පාලන සමයේ වුවද පෘතුගීසීන්ගේ සොහොන් කොත් ලන්දේසීන් අතින්ද, ලන්දේසීන්ගේ සොහොන් කොත් ඉංග්‍රීසීන් අතින්ද, ඉංග්‍රීසීන්ගේ සොහොන් කොත් පසුකාලීනව සිංහලයන් අතින්ද ඇතැම් විට වැනසී තිබෙන බවය.
එවැනි තත්ත්වයක් යටතේ වුවද කතෝලික හා ක්‍රිස්තියානි පල්ලිවල ඇති සුසාන භූමිවල තිබූ බොහෝ සොහොන් ගැබ් තවදුරටත් ආරක්ෂා වී තිබීම පුරාවිද්‍යාත්මක වශයෙන් මිල කළ නොහැකි කෞතුක වටිනාකමක් සහිත වැදගත් අවස්ථාවකි. ශතවර්ෂ කිහිපයක් තිස්සේ බෝල්වත්ත කතෝලික පල්ලියේ සුසාන භූමියෙහි පුරාණ සොහොන් තවදුරටත් ආරක්ෂාව පැවැතීම ආශ්චර්යයකි.
එම සොහොන් ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාගේ හෝ ජුසේවාස් පියතුමාගේ හෝ විය හැකි නම් එහි කෞතුක අගය තවදුරටත් බොහෝ සෙයින් ඉහළ යන්නේය.
ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා ශ්‍රී ලංකාවේ කතෝලික ආගම ප්‍රතිෂ්ඨාපනය කිරීම පිණිස විශිෂ්ටතම මෙහෙයක් සිදුකළ ජුසේවාස් මුනිතුමාගේ සමකාලීනයෙකි. ලංකාවේ වසර ගණනාවක් සිට පූජකයන් නොමැති බව වාර්තා වූ වකවානුවක ශාන්ත ජුසේවාස් පියතුමා ලංකාවේ කතෝලිකයන්ගේ දුක්ඛිත තත්ත්වය ගැන අසා ඔවුන් බේරා ගැනීමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වී ඇත. 1687 වසරේ ශාන්ත ජුසේ වාස් පියතුමා ඉන්දියාවේ සිට තූත්තුකුඩිය හරහා ලංකාවට පැමිණියේය.
ජුසේවාස් පියතුමා ශ්‍රී ලංකාව පුරා ඉතා දුකසේ ගමන් කරමින් කටුක උපද්‍රව්‍යයන්ට මුහුණ දෙමින් වරෙක කන්ද උඩ රාජධානියේ රජුගේ උදහසටද ලක්වෙමින් සිය ධර්ම දූත කාර්යය මැනැවින් ඉටු කළ උත්තමයෙකි. උන්වහන්සේ ශ්‍රී ලංකාවේ සෑම නගරයකම දෙපයින් ඇවිද ධර්මදූත සේවාවේ යෙදී තිබේ.
ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා ජුසේවාස් පියතුමා හා සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනුයේ 1705 මැයි 9 වැනි දිනය.
ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා වසර 36ක් පුරා සිය දුෂ්කර ධර්මදූත සේවය ඉටු කොට 1742 ජුලි 17 වන දින අභාවප්‍රාප්ත වූ අතර මෙරට කතෝලික ඉතිහාසයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ බෝල්වත්ත දේවස්ථානයට අයත් සුසාන භූමියෙහි උන්වහන්සේගේ සිරුර තැන්පත් කරන ලද බවය.
ශාන්ත ජුසේවාස් පියතුමන්ගේ සමීපතම සහෘදයා ලෙස ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් විසින් සලකනු ලැබේ.
මෙහිලා සැලකිය යුතු තවත් විශේෂ සිදුවීමක් තිබේ. 2015 ජනවාරි මාසෙදි අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේදී ශාන්ත ජෝශප් වාස් මුනින්ද්‍රයාණන් ශාන්තුවරයට පත් කරනු ලැබීය. ඉන් අනතුරුව දිවාර් ප්‍රදේශයේ ජනතාව ඉතා උනන්දුවෙන් හා උද්යෝගයෙන් මූලිකත්වය ගෙන ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාණන් ශාන්තුවරයට පත්කිරීම පිණිස වැඩපිළිවෙළක් සම්පාදනය කර ඇත.
ඒ අනුව දිවාර්හි අප ස්වාමිදූගේ දේවස්ථානයේ පූජක ජෝස් ඩයස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාණන් සාන්තුවරයට පත් කෙරිණි.
ජුසේවාස් පියතුමන්ගේ අභාවය සිදුවී තිබෙන්නේ 1711 ජනවාරි 16 මහනුවරදීය. අභාවයට පත්වන විට උන්වහන්සේ 59 හැවිරිදි වියේ පසුවිය. ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා මිෂනාරිවරයකු ලෙස 1705 දී ලංකාවට පැමිණි අතර ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා අභාවයට පත්වන විට ඔවුන් දෙදෙනා එක්ව ධර්මදූත කාර්යයෙහි නිරතව තිබුණේ වසර 6කි පමණි.
ජුසේවාස් පියතුමන්ගේ කාර්යය ඉදිරියට ගෙන යන ලද්දේ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා විසිනි. පියතුමන්ලා දෙදෙනාම ශ්‍රී ලාංකේය කතෝලික ප්‍රජාවගේ ඉමහත් ගෞරවාදරයට පත්වූ උත්තමයන් වෙති.
බෝල්වත්ත පල්ලියේ සුසාන භූමියේ තිබී හමුවූ විශේෂ සොහොන් ගැබ සති අන්තයේදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංගගේ අධීක්ෂණයට ලක්ව තිබිණි.
මහාචාර්ය අනුර මනතුංග පැවැසුවේ නව ඉදිකිරීමක් සඳහා බිම සැකසීමේදී තරමක යට තිබී හමුවී ඇති මෙම සොහොන් ගැබ තමා නිරීක්ෂණය කළ බවත් එය අවම වශයෙන් වසර 100 කට වැඩි නොවන බව තමාට නිරීක්ෂණය වූ බවය. පසුකාලීනව නැවත තහවුරු කරන ලද්දක්ද යන්න තවදුරටත් පරීක්ෂණය කළ යුතුව ඇතැයිද හෙතෙම පැවැසීය.
ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාගේ සොහොන් ගැබ බෝල්වත්ත පල්ලියේ සුසාන භූමියේ වෙනත් ස්ථානයක පවතින බැවින් මෙම සොහොන ගොන්සාල්වේස් පියතුමාගේ විය නොහැකි බව පැහැදිලි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
ජුසේවාස් පියතුමා ගොන්සාල්වේස් පියතුමා හා සමඟ සමකාලීනව හලාවත මීසමේ ධර්මදූත කාර්යයෙහි නිරතව ඇති බැවින් ප්‍රාදේශීය කතෝලික බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට ලක්ව ඇති බැවිනුත් පසුකාලීනව මහනුවර සිට ජුසේවාස් මුනින්ද්‍රයාණන්ගේ අවශේෂවලින් කොටසක් හෝ බෝල්වත්තට ගෙනැවිත් මිහිදන් කරාද යන්න පිළිබඳව වෙනම විමර්ශනය කළ යුතුව ඇතැයිද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.
මවිබිම




