අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුම්වත් කිරීම සඳහා වන අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීම ඊයේ (22) පාර්ලිමේන්තු පරිශ්රයේදී රැස්වුණා.
ඒ අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තිය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන්.
මෙම හමුවේ දී නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ ක්රියාත්මක වන සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සහ පාසල් මට්ටමේ තක්සේරුකරණ හා සහතිකකරණ රාමුව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙත පුළුල් දැනුම්වත් කිරීමක් සිදුකරනු ලැබුවා.
පසුගිය වසරේ දී පළමු ශ්රේණිය සඳහා ක්රියාත්මක කරන ලද අධ්යාපන ප්රතිසංස්කරණවල වත්මන් ප්රගතිය මෙන්ම, එළඹෙන වසර තුළදී 02 සහ 06 ශ්රේණි සඳහා ක්රියාත්මක කිරීමට නියමිත අධ්යාපන ප්රතිසංස්කරණවල වත්මන් සූදානම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණා.
එමෙන්ම පාසල් සඳහා සුහුරු පන්ති කාමර ( Smart Class Rooms), අන්තර්ජාල පහසුකම් සහ ඩිජිටල් උපකරණ ලබාදීමේ ව්යාපෘතියේ වත්මන් ප්රගතිය කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණා.
මෙම රැස්වීමේදී අදහස් දැක්වූ අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නාලක කලුවැව සඳහන් කළේ, අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලිය කුළුණු 05ක් යටතේ ක්රියාත්මක වන අතර, ඒ සඳහා අදාළ වන ජාතික මෙහෙයුම් කමිටුවක් සහ එම කුළුණු 05ට අදාළ අනුකමිටු 05ක් මේ වන විට ක්රියාත්මක කර ඇති බවයි.
ජාතික අධ්යාපන කොමිෂන් සභාවේ ප්රතිපත්තිවලට අනුගතව, 2025 වර්ෂයේ දී අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලිය ආරම්භ කළ බවත්, 2026 ජනවාරි මාසයේදී 1 ශ්රේණිය සඳහා මෙම ප්රතිසංස්කරණ සාර්ථකව ක්රියාත්මක කර ඇති බවත් ලේකම්වරයා පැහැදිලි කළා.
එමෙන්ම, 2027 වර්ෂයේදී 2 සහ 6 ශ්රේණි සඳහාත් මෙම අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය සියලු කටයුතු සූදානම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මෙම රැස්වීමේ දී අදහස් දැක්වූ ජාතික අධ්යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ජ්යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා සඳහන් කළේ, ලෝකයේ දියුණුම රටවල පවතින අධ්යාපන ක්රමවලට සාපේක්ෂව ශ්රී ලංකාවේ අධ්යාපන ක්රමය වඩාත් උසස් මට්ටමක පවතින බවත් එය වඩාත් උසස් මට්ටමකට පරිවර්තනය කිරීම සඳහා මෙම නව අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක කරන බවයි.
විශේෂයෙන්ම ජාතික විෂයමාලා රාමුව සකස් කිරීමේදී මූලික පර්යේෂණ සහ කැබිනට් මණ්ඩල අනුමැතිය මත පදනම්ව, විෂයමාලා ප්රතිසංස්කරණ ක්රියාවලිය විධිමත්ව සිදු කර ඇති බවත්, එමගින් ළමුන් තුළ දැනුම ,ආචාරධර්ම කුසලතාවන් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම, සාකල්යවාදී (Holistic) සහ ඉගෙනුම් ඵල මත (Outcome-based) අධ්යාපන ක්රමවේදයක් කරා පාසල් පද්ධතිය ගෙනයමින්, අනාගත ලෝකයට ගැළපෙන මානව ගුණදම් සහිත නවෝත්පාදකයින් හා වෘත්තිකයින් පිරිසක් බිහි කිරීම වෙනුවෙන් මෙම නව අධ්යාපන ප්රතිසංස්කරණ ශක්තිමත් පදනමක් වනු ඇති බවද අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළා.










