චීන රතු හමුදාවේ ඓතිහාසික දිගු පා ගමනේ 90 වැනි සංවත්සරය සැමරේ

චීන විප්ලවීය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන චීන රතු හමුදාවේ ඓතිහාසික දිගු පා ගමනේ ජයග්‍රාහී 90 වැනි සංවත්සර සැමරුම් සම්මේලනය අද (22) බෙයිජිං අගනුවරදී පැවැත්වුණා.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එම සම්මේලනයට එක්වෙමින් විශේෂ දේශනයක් පැවැත්වනු ලැබුවා.

ඉතිහාසය නිවැරදිව සමාලෝචනය කිරීම තුළින් පමණක් වඩාත් යහපත් අනාගතයක් නිර්මාණය කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

චීන කොමියුනිස්ට් පක්ෂය, හමුදාව සහ සියලු ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් ජනතාව පක්ෂයේ මධ්‍යම කාරක සභාව වටා එක්සත්ව සිටිමින් ඓතිහාසික දිගු පා ගමනේ ජීවගුණය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

විප්ලවීය පුරෝගාමීන් ආරම්භ කළ දැවැන්ත ඓතිහාසික මෙහෙවර ඉදිරියට ගෙන යමින්, නව යුගයේ ‘දිගු පා ගමන’ තුළ නව ජයග්‍රහණ අත්කරගත යුතු බව ද ෂී ජින්පිං ප්‍රකාශ කළා.

1934 වසරේ ඔක්තෝබර් මාසයේ ආරම්භ වූ චීන රතු හමුදාවේ දිගු පා ගමන 1936 වසරේ ඔක්තෝබර් මාසයේදී අවසන් වුණා.

ජාතිකවාදී හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ සිය බලය ආරක්ෂා කරගැනීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් මෙම දැවැන්ත හමුදා ගමන ආරම්භ කෙරුණා.

චීන නිල ඓතිහාසික වාර්තාවන්ට අනුව, රතු හමුදාවේ ප්‍රධාන බලකාය කිලෝමීටර් 12,500ක පමණ දුෂ්කර ගමනක නිරත විය.

කඳුකර ප්‍රදේශ, හිමෙන් වැසුණු කඳු මුදුන්, ගංගා සහ වගුරු බිම් තරණය කරමින් සිදුකළ මෙම ගමනේදී සටන්, ආහාර හිඟය සහ රෝගාබාධ හේතුවෙන් දහස් සංඛ්‍යාත සෙබළුන්ට ජීවිත අහිමි වුණා.

1936 වසරේදී රතු හමුදාවේ ප්‍රධාන බලකා එක්වීමත් සමඟ අවසන් වූ මෙම ගමන, චීන කොමියුනිස්ට් පක්ෂයේ පැවැත්ම තහවුරු කිරීමටත්, 1949 වසරේදී චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමට මඟ පෑදූ විප්ලවීය ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත් දායක වුණා.

අද වන විට චීනය තුළ දිගු පා ගමන කැපවීම, ධෛර්යය, එකමුතුකම සහ අභියෝග ජයගැනීමේ අධිෂ්ඨානය සංකේතවත් කරන ඓතිහාසික සිදුවීමක් ලෙස සැලකෙනවා.

වසර 90කට පෙර සිදුකළ මෙම ඓතිහාසික ගමනේ ජීවගුණය නව පරපුර වෙත රැගෙන යමින්, චීනයේ නවීකරණය සහ ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා එය ආදර්ශයක් කරගත යුතු බව ජනාධිපති ෂී ජින්පිං මහතා සිය දේශනයේදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

මෙවර සැමරුම් සම්මේලනයට චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයන් වන ලී චියැං, චාඕ ලෙජි, වැං හුනිං, චායි චී, ඩිං ෂුවෙෂියැං, ලී ෂී සහ චීන උප ජනාධිපති හැන් ෂෙං යන මහත්වරු ද එක්ව සිටියා.

මේ අතර චීන රතු හමුදාවේ දිගු පා ගමනේ ජයග්‍රාහී 90වැනි සංවත්සරය සැමරීම සඳහා චීන මහජන බැංකුව රන් හා රිදී සමරු කාසි නිකුත් කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

මෙම සමරු කාසි චීන මහජන සමූහාණ්ඩුවේ නීත්‍යනුකූල මුදල් ලෙස සැලකෙනවා.