වතුකරයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවක්

උතුරු, නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂ සාකච්ඡාවක් අද (22) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා ජීවන ගැටලු පිළිබඳ ව මන්ත්‍රීවරුන්ගෙන් විස්තර ලබා ගනු ලැබුවා.

විශේෂයෙන් වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ ජනතාවගේ ආදායම් මට්ටම, ජීවන වියදම ඉහළ යාම සහ උතුරු නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාවගේ පවුල්වල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වුණා.

උතුරු, නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාවට පවතින මූලික යටිතල පහසුකම්වල අඩුපාඩු මෙන් ම සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ ව ද මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනවා.

ගුණාත්මක සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය, පාසල් අධ්‍යාපනයේ පවතින ගැටලු සහ දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහි දී දිර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා.

මේ අවස්ථාවට ජී. ශ්‍රීනේෂන්, පී. සත්‍යලිංගම්, මුජිබර් රහුමාන්, එම්. එස්. යූ. ලෙබ්බේ, කේ. කාදර් මස්තාන්, වී. රාධාක්‍රිෂ්නන්, හබීබ් රිෆාන් සහ කේ. කෝඩේස්වරන් යන මන්ත්‍රීවරුන් එක්ව සිටියා.