ජූලි 05, 06, යන දිනවල මීගමුව බන්ධනාගාරේ ඇති වූ මෙම ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ 32 සම්බන්ධයෙන් මරණ පරික්ෂණ නියෝගය ලබන 23 වැනිදා නිකුත් කරන බව මීගමුව වැඩබලන මහෙස්ත්රාත් ඉන්දික සිල්වා මහතා අද (15) නිවේදනය කළා.
සිද්ධිය අවස්ථාවේ දී මියගිය සියලුම පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ අවසන් බවත් සියලුම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
එහිදි වැඩබලන මහෙස්ත්රාත්වරයා සඳහන් කළේ අද දින ප්රධාන මහෙස්ත්රාත්වරිය නිවාඩු ලබා ඇති බැවින් මරන පරික්ෂණ සම්බන්ධයෙන් නියෝගය ලබන 23 නිකුත් කරන බවයි.
මේ වන විට සැකකරුවන් 106 දෙනෙකු නම් කර ඇති බවත් ඉන් 81ක් පිරිමි පුද්ගලයන් සහ 25ක් කාන්තාවන් බවද නිලධාරීන් සඳහන් කළ අතර සැකකරුවන් 106 ක් හඳුනා ගැනීමේ පෙරට්ටුවට සඳහා ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කළා.
එමෙන්ම මේ දක්වා සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු රස පරික්ෂණ වාර්තාවක් තවමත් ලැබී නොමැති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. ගිනි අවි සම්බන්ධයෙන් ,ලේ සාම්පල හා DNA වාර්තා කිසිවක් ලැබී නොමැති බවද දන්වා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු වැඩ බලන මහෙස්ත්රාත්වරයා නියෝග කලේ සැකකරුවන් 106 දෙනාම ඔක්තෝබර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, පෙරට්ටුවට ඉදිරිපත් නොකරන අනෙක් සැකකරුවන් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අධිකරණට ඉදිරිපත් කරන ලෙසයි.
සිරකරු අයිතිවාසිකම් සංගමයේ සභාපති නීතිඥ සේනක පෙරේරා නඩුව කැඳවු අවස්ථාවේ දී මියගිය රැඳවියන් වෙනුවෙන් කරුණු දක්වනු ලැබුවා.
ජූලි 05, 06, යන දිනවල මීගමුව බන්ධනාගාරේ ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් 10 දෙනෙකු සහ රැඳවියන් 22 කු ජීවිතක්ෂයට පත් වූ අතර සීයකට අධික පිරිසක් තුවාල ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන අතර පොදු දේපල පනත යටතේ, ගිනි අවි ආඥා පනත යටතේ සහ මීනි මැරිම යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.
නඩුව යලි ඔක්තෝබර් 23 වැනිදා කැඳවීමට නියමිතයි.










