කටුනායකටත් කොරෝනා රෝහලක්

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ, එහි සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා විසින් අද (05) දින උදෑසන විවෘත කෙරුණා.

මෙම අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි ක්‍රිස්ටල් මාටින් නැමැති කර්මාන්තශාලාවට අයත් ගොඩනැගිලි සංකීර්ණයක පිහිටුවා තිබෙනවා.

මෙම වෛද්‍ය මධ්‍යස්ථානය සදහා රුපියල් මිලියන 25ක මුදලක් ආයෝජනය කර ඇති අතර, මෙහි ප්‍රතිකාර ලබන රෝගීන් සදහා ඇදන් 425ක් සූදානම් කර තිබෙන බව සංජය මොහොට්ටාල මහතා පවසනවා.

මේ සදහා කටුනායක නිදහස් වෙළෙඳ කලාපීය කර්මාන්තකරුවන්ගේ සංගමය, ගම්පහ ජාතික තරුණ සේවා සභාව ද දායකත්වය සපයා තිබෙනවා.

මෙම මධ්‍යස්ථානයේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්යය මණ්ඩලය විසින් සිදු කරනු ලබනවා.

මෙම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ මීගමුව මහ රෝහලට අයත් ගිලන් රථයක් පැය 24 පුරා සූදානමින් තබා ඇති අතර, මෙහි සංකූලතා මතු වූ රෝගීන් මේ මගින් ක්ෂණිකව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට සැළසුම් කර තිබෙනවා.

මෙම අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ වැඩිපුර ගැහැණු සේවිකාවන් සදහා ඇදන් සූදානම් කර ඇති අතර, ඔවුන්ගේ රෙදි සෝදා ගැනීමට රෙදි සෝදන යන්ත්‍ර, දුරකථන පහසුකම්, රූපවාහිනී සහ ගුවන් විදුලි යන්ත්‍ර, වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට  නේවාසික පහසුකම් මෙන්ම, සමස්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයම වායුසමනය කිරීමට ද ලක් කර තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරන අතර, එක් අයෙකුට දිනකට වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන්  රුපියල් 1,500 ක මුදලක්, ඔවුන් සේවය කරන කර්මාන්තශාලාව මගින් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙවීම සිදු කළ යුතු වෙනවා.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, එහි විධායක අධ්‍යක්ෂ ලෝරන්ස් මඩපාත, කටුනායක නිදහස් වෙළෙඳ කළාපීය අපනයන සැපයුම්කරුවන්ගේ සංගමයේ සභාපති ග්‍රිතේන්ද්‍ර බියාලා, එම සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු, ක්‍රිස්ටල් මාටින් කර්මාන්තශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් මුලර්, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අධ්‍යක්ෂ රන්ජන් සිගේරා සහ මෙම මධ්‍යස්ථානය භාර මීගමුව මහ රෝහලේ වෛද්‍ය නිලධාරී නිර්මලා යෝගනාදන් යන මහත්ම මහත්මීන් ද ඇතුළු තවත් කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන විශාල පිරිසක් ද සහභාගී වී සිටියා.     

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?