2500ක් දඩ නියම කළ තීන්දුවට එරෙහිව රවී ගොනුකළ පෙත්සම විභාගයට දිනදෙයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රථ වාහන නඩුවට අදාළව ඉදිරි පියවර ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගය සඳහා නොවැම්බර් මස 06 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුකරය අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

එහිදී මෙම නඩුකරයට අදාළ විරෝධතා සහ ප්‍රති විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් පාර්ශවකරුවන්ට දින ලබා දුන්නා.

ඉන් අනතුරුව මෙම පෙත්සම විභාගය සඳහා නොවැම්බර් මස 06 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියම කළා.

2023 වසරේ වැල්ලවත්ත පොලිස් වසම තුළ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් රවී සෙනවිරත්නට එරෙහිව වැල්ලවත්ත පොලීසිය මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා.

එම නඩුවේ එක් චෝදනාවකට වරද පිළිගැනීමෙන් අනතුරුව අනිත් චෝදනා දෙක ඉවත් කර ගැනීමට පොලිසිය එකඟතාවය පළ කරනු ලැබුවා.

එසේ තිබියදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකරුට රුපියල් 2,500 ක දඩයක් නියම කරනු ලැබුවා.

එම දඩය නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි මෙන්ම මහේස්ත්‍රාත්වරයා විසින් එම නඩුකරයට අදාළව නිකුත් කර තිබෙන නියෝග නීතියට පටහැණි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.