ඇතැම් ප්‍රදේශවලට මිලීමීටර් 75ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට අද (25) මිලීමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ අනිකුත් පළාත්වල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.