හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද (21) උදෑසන හටගත් ගින්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම මෙම ගින්නෙන් මියගිය සේවකයින්ගේ පවුල්වලට, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සිය බලවත් ශෝකය හා සංවේගය පළ කළ කරන බවයි කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ෂණයේදී ගින්නට හේතු වූ කරුණු, කර්මාන්ත ශාලාවේ ගිනි ආරක්ෂණ හා වෘත්තීය සුරක්ෂිතතා ප්‍රමිතීන්, සේවකයින්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පහසුකම් සහ හදිසි ගැලවීමේ ක්‍රමවේදයන් ඇතුළු කරුණු පිළිබඳ පුළුල් අවධානයක් යොමු කරන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම කර්මාන්තශාලා ආඥා පනත සහ අදාළ වෘත්තීය සුරක්ෂිතතා නීතිරීති වලට අනුකූලව කටයුතු කර තිබුණේද යන්න සහ සිද්ධියට හේතු වූ වගකීම් සහගත හෝ නොසැලකිලිමත් ක්‍රියාමාර්ග තිබේද යන්න සම්බන්ධයෙන්ද විමර්ශනය සිදු කරන ලෙසද අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්දට දන්වා ඇති බව සඳහන්.
මීට සමගාමීව අනතුරුදායක සහ අවදානම් රැකියා සහිත සේවා ස්ථාන සහ එහි සේවයේ නියුතු ශ්‍රමිකයින්ගේ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය පිළිබඳව සොයා බලන ලෙස ද ඔහු වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.
හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද (21) උදෑසන හටගත් ගින්නෙන් පුද්ගලයින් පස් දෙනෙක් පිලිස්සී මිය ගියා.













