ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) පෙරවරුවේ පැවැත්වුණා.
කාලගුණික විපර්යාසයන්හි නවතම තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කළා.
වර්තමානය වන විට මුහුණ දෙන උණුසුම් කාලගුණික තත්ත්වය සහ අධික වැසි තත්ත්වය පිළිබඳව සිදු කර ඇති පුරෝකථන දත්ත තව දුරටත් විශ්ලේෂණය කරමින් මෙමගින් ඇති විය හැකි සමාජ බලපෑම පිළිබඳව පුරෝකථන වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.
එමගින් පානීය ජලය, විදුලිබලය, ආහාර අවශ්‍යතා ආදිය කළමනාකරණය සහ වන සතුන්ට සිදුවිය හැකි බලපෑම් නිර්ණය කිරීමට අදාළව තිරසර පිළියම් යෙදීම සඳහා දැනට සකස් කර ඇති සැළසුම් යාවත්කාලීන කර ගැනීමට හැකි වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අදාළ පුරෝකථන වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව ක්ෂේත්‍ර නිලධාරීන් කැඳවා මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගෙදර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ගාමිණී ජයතිස්ස ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගිවුණා.
