කෝටි දෙකකට වැඩි කුෂ් මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතිකයෙක් මාට්ටු

රුපියල් දෙකෝටි අට ලක්ෂ හැත්තෑ දහසක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” (Green Channel) ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කළ, විදේශීය ගුවන් මගියෙක් අද (14) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 24 හැවිරිදි වියේ පසුවන, මත්ස්‍ය වෙළද පොළක , මාලු කැපීමේ නිරත ඉන්දීය ජාතිකයෙක් වන අතර ඔහුගේ පළමු ගුවන් ගමන මෙය වීම ද විශේෂත්වයක්.

ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ , එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා .

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ වූ කාඩ්බෝඩ් පෙට්ටියක පැති බිත්තිවලට අලවා, ඇසුරුම් 02 ක් ලෙස, මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 087 ක ප්‍රමාණය සගවා ගෙන ගෙනවිත් තිබුණා.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්