මිනී මැරුමකට වරදකරුවන් වූ තරුණ අඹුසැමි යුවළකට මරණ දණ්ඩනය

බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මන්නා පිහිවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ තරුණ අඹුසැමි යුවළක් හා තවත් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විමසුරු රශ්මි සිංගප්පුලි මහතා මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා.

2017 වසරේ දෙසැම්බර් මස 11 වනදා වැල්ලම්පිටිය, මීතො මුල්ල ප්‍රදේශයේ දී රුචිර ලක්මාල් පෙරේරා නමැති 35 හැවිදි පුද්ගලයා ඝාතනය කිරීමේ චෝදනාවට මෙලෙස වරදකරුවන්ටත් කරනු ලැබුවේ නුවන් තිළිණ, නිමල් මදුරංග හා පියුමි මදුෂිකා නැමති විත්තිකරුවන් තිදෙනාටයි.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව මරණකරුගේ ශරීරයේ බරපතළ කැපුම් තුවාල 21ක් ඇති බවත්, හිසට හා ගෙලට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් එකී මරණය සිදුවී ඇති බව අනාවරණය වී තිබුණා.

එමෙන්ම අධිකරණය හමුවේ දී ඉදිරිපත් වූ ඇසින් දුටු සාක්ෂි හා සීසීටීවී දර්ශන, වෛද්‍ය වාර්තා නිරීක්‍ෂණය කළ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා එකී ඝාතනය සිදු කරනු ලැබුවේ සිය පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය හා ප්‍රකෝපවීම මත බවට විත්තිය ඉදිරිපත් කළ විත්තිවාර්ෂික ප්‍රතික්ෂේප කොට චූදිතයන් තිදෙනාම වරදකරුවන් කොට මරණ දඬුවම නියම කරනු ලැබුවා.

චූදිතයන් තිදෙනාම පොදු චේතනාවකින් යුතුව එම මනුෂ්‍ය ඝාතනය සිදුකර ඇති බවට පැමිණිල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇතැයි ද විනිසුරුවරයා සිය සින්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නා.

දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය අනුව කියවිය යුතු දෙසිය අනූහය (296) වගන්තියේ එන මිනීමැරීමේ චෝදනාව යටතේ පවරා තිබූ මෙම නඩුව, විභාගයෙන් අනතුරුව විත්තිකරුවන්ට විත්තියේ අයිතිවාසිකම් පහදා දුන් අතර එක සහ දෙක විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට විත්තිවාචක ඉදිරිපත් කළ නමුත් තෙවන විත්තිකාරිය නිහඬව සිටියා.

පළමු චූදිත වෙනුවෙන් රජයෙන් පත් කළ නීතීඥ දිමුතු සඳ කැලුම් පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ හිමාලි සිල්වා පෙනී සිටියා.