නේපාලයේ තවත් දරුණු ගංවතුරක් – නේපාලයේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් නැහැ

නේපාලයේ ගෝර්කා දිස්ත්‍රික්කයේ බුධි ගන්ඩාකි ගඟේ අද අලුයම ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් චුම්නුබ්‍රි සහ ධර්චේ යන ග්‍රාමීය නගර සභා ප්‍රදේශවල ජනාවාස, පාලම් සහ යටිතල පහසුකම්වලට හානි සිදුව තිබෙනවා.

කාට්මන්ඩු නගරයට බටහිර දෙසින් කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි ගෝර්කා දිස්ත්‍රික්කයේ චුම්නුබ්‍රි ගම්මානයේ සිදුවූ වියළි නායයෑමක් හේතුවෙන් බුධි ගන්ඩාකි ගඟ අවහිර වී, ඉන් පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වූ බවට මූලික වාර්තා පෙන්වා දෙනවා.

සිද්ධියට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, බලධාරීන් තවමත් සිදුවී ඇති හානි පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර ගෝර්කා ප්‍රදේශයේ ඇතිව ඇති ගංවතුර තත්ත්වයෙන් මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් සිදුව නොමැති බව විදේශ රැකියා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

නේපාලයේ මධ්‍යම කලාපයට අයත් ගෝර්කා දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන්, කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් සිටින බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එමෙන්ම අදාළ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත නිරන්තරයෙන් දැනුම් දීමට තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යාංශය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්