ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවමට එරෙහි අභියාචනයක්, ශ්‍රී ලාංකික සහ සෞදි නීති කණ්ඩායම්වල ඒකාබද්ධ ප්රයත්නයන්ගෙන් අනතුරුව අද (11) සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ්ගේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලාංකික නීතිඥවරුන්ගේ විශේෂ කණ්ඩායමක් සහ ඔවුන්ගේ සෞදි සගයන් අතර පැවති සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙම අභියාචනය සකස් කරනු ලැබුවා.
මෙම නීතිමය ක්‍රියාවලිය රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සම්බන්ධීකරණය කෙරුණා.
මුහම්මද් නබිතුමාට අපහාස කරන බවට සැලකෙන සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් සෞදි අභියාචනාධිකරණයක් විසින් අනෝජන් සිවරාසාට මරණ දඬුවම නියම කර තිබෙනවා.
පහළ අධිකරණයක් විසින් මුලින් ඔහුට වසර පහක සිර දඬුවමක් නියම කර තිබූ නමුත්, අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු අභියාචනාධිකරණය එම පෙර තීන්දුව වෙනස් කර මරණ දඬුවම පැනවීමට නියෝග කළා.
අනතුරුව, අනෝජන් සිවරාසා සම්බන්ධයෙන් අභියාචනය සකස් කිරීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ නීති කණ්ඩායමක් සෞදි අරාබිය වෙත ගියා.
මෙම ශ්‍රී ලාංකික නීති කණ්ඩායමට අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජනාධිපති නීතිඥ අසාද් නවාවි, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන අය ඇතුළත්.
සෞදියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ්, ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විනිසුරු මොහොමඩ් ලෆීර් සහ සිල්මි රියාස්දීන් යන අය ද මෙම නීතිමය කටයුතු සම්බන්ධීකරණයට දායක වුණා.










