නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුල්වීමේ චෝදනාව යටතේ දැනට එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසීට නීති උපදෙස් සහ ඇප ලබා ගැනීමට නීතිඥවරුන් දෙදෙනෙකු අද (18) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියා.
දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ පේෂල කංගොඩආරච්චි සහ නවීන් ජයමාන්න යන නීතිඥවරුන් දෙදෙනා මෙසේ පිටත් ව ගිය බවයි.
එහිදී අදහස් දැක්වූ එම නීතිඥවරුන් පොඩි ලැසීට එරෙහිව ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුල්වීම පිළිබඳ චෝදනාවක් පමණක් එල්ල වී ඇති බවත්, ඔහුට ඒ සඳහා අවශ්‍ය නීති උපදෙස් ලබාදෙමින් ඇප ඉල්ලීමට තමන් කටයුතු කරන බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ පොලීසියට පොඩි ලැසී සෙවීමට අවශ්‍ය කරන චෝදනා කිසිවක් නැති අපරාධ සඳහා නම් වී ඇති සැකකරුවෙකු නොවන බව ද ඔවුන් පැවසුවා.
ඔහුට එරෙහිව ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයක ම නඩු ගණනාවක් විභාග වෙමින් පවතින බවත්, ඒ කිසිදු නඩු කටයුත්තක් සඳහා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් වී නොමැති බවත්, තමන් එම නඩු කටයුතු සඳහා අවශ්‍ය සහාය දක්වන බවත් එම නීතිඥවරුන් දෙදෙනා පැවසුවා.
ඉන්දියාව තුළ දී තම සේවාදායකයා වෙනුවෙන් මේ වනවිටත් ඉන්දීය නීතිඥවරුන් කීපදෙනෙකු පෙනී සිටින බවත්, ඉන්දියාවේ දී ඇප ලැබුණහොත් ශ්‍රී ලංකාව තුළ පොඩි ලැසීට ආරක්ෂාව පිළිබඳ ව ප්‍රශ්නයක් පවතින බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.
මෙම නීතිඥවරුන් දෙදෙනා අද (18) පස්වරු 04.00ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 275 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියා.
මෙම නඩුව එළඹෙන 21 වැනි දින ඉන්දියාවේ මුම්බායි නුවර තානේ ( Thane ) අධිකරණයේ දී විභාග වීමට නියමිතයි.