ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති ට්‍රින් තී ටැම් ඊයේ (24) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී කතානායක ජගත් වික්‍රමරත්න හමු වුණා.
මෙහිදී ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දිගුකාලීන ද්විපාර්ශවික සබඳතාවල ප්‍රධාන අංශ පිළිබඳව කතානායකවරයා සහ තානාපතිවරිය අදහස් හුවමාරු කරගත් අතර, ප්‍රධාන වශයෙන් දෙරට අතර බුදු දහම සහ සංස්කෘතිය යන අංශවලින් ඇති සබඳතාවය පිළිබඳ අවධානය යොමු වුණා.
එසේම පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික සබඳතා තුළින් දෙරට අතර සමීප සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ප්‍රතිෂ්ඨාපනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.
තවද වියට්නාමයේ කෘෂිකර්මාන්තය වඩාත් ඵලදායී ආකාරයෙන් යොදාගනිමින් සිදුකරන නිෂ්පාදන ආර්ථිකය පිළිබඳව ගරු කතානායකවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළා.
මේ අනුව කෘෂිකර්මාන්ත අංශයේ තම රට සතු තාක්ෂණික දැනුම සහ පළපුරුද්ද ශ්‍රී ලංකාව සමග හුවමාරු කරගැනීමට තමන් කැමැත්තෙන් සිටින බව තානාපතිවරිය මෙහිදි පැවසුවා.
එමෙන්ම සංචාරක කර්මාන්තයේ දියුණුව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 55වන සංවත්සරය සැමරීමට සමගාමීව දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරකම් රාශියක් සැලසුම්කොට ඇති බවද වියට්නාම තානාපතිවරිය මෙහිදී පෙන්වා දුන්නා.
මේ අතර, ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති ට්‍රින් තී ටැම් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි ද හමුවුණා.
මෙහිදී පොදු උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය අවබෝධය සහ හවුල්කාරීත්වය පුළුල් කිරීමේ වැදගත්කම වියට්නාම් තානාපතිවරිය අවධාරණය කළා.
එසේම මෙවර අයවැය මගින් විදේශ ආයෝජන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම පිළිබඳව ද තානාපතිවරිය මෙහිදී සිය ප්‍රසාදය පළ කර සිටියා.
තවද දසවැනි පාර්ලිමේන්තුව වැඩිම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව බවත් එය වඩාත් වැදගත් සංධිස්ථානයක් බවත් මෙහිදී නියෝජ්‍ය කතානායකවරයා පෙන්වා දුන්නා.