දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ ආපදාවට ලක් වී ඇති ජනතාව වෙනුවෙන් සිදු කෙරෙමින් පවතින ආපදා සහන සැලසීමේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අද (28) දින එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් උදය හේරත් (විශ්‍රාමික) සහ යාපනයේ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද එක් වූ මෙම නිරීක්ෂණ චාරිකාවේදී ආරක්ෂක ලේකම්වරයා ආපදා සහන මෙහෙයුම්වල නිරත රාජ්‍ය නිලධාරීන් හමු වී ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව සිදු කෙරෙන සහන සැලසීමේ මෙහෙයුම්වල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳව සොයා බැලූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
යාපනය අර්ධද්වීපයට පැමිණි ආරක්ෂක ලේකම්වරයා, ආපදාවට ලක්වූ ජනතාව රඳවා සිටින කට්කුලම් විද්‍යාලය සහ පේදුරුතුඩුව මධ්‍ය විද්‍යාලය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සුබසාධන වැඩපිළිවෙල පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව ඔවුන් වෙත වියළි සලාක ඇසුරුම් බෙදාදීම ද සිදු කෙරුණා.
යාපනය අර්ධද්වීපයේ ගංවතුරෙන් යට වී ඇති ප්‍රදේශවල වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ආරක්ෂක ලේකම්වරයා ගුවන් නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ බවයි වාර්තා වන්නේ.
නල්ලූර් ප්‍රදේශයේ වත්මන් තත්ත්වය සහ එහි ක්‍රියාත්මක වන සහන කටයුතු පිළිබඳව සොයා බැලු ආරක්ෂක ලේකම්වරයා, විපතට පත් ප්රජාවන්ගේ මුලික අවශ්‍යතා සපුරාලීමට සහ ඔවුන්ට අවශ්‍ය සහාය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා.
එමෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාර ආර්. නාගලිංගම් වේතනායහන් මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේදී රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් නිලධාරීන් සමඟ වත්මන් ආපදා සහන මෙහෙයුම් සහ අවතැන් වූ ප්රජාවන්ගේ සහ ඔවුන්ගේ දේපලවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කෙරුණා.
පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණ අධික වර්ෂාව හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ ජනතාව වඩාත් පීඩාවට පත්ව ඇති අතර, ජනාකීර්ණ ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් සැලකිය යුතු පිරිසක් අවතැන් වී තිබෙනවා.
ඔවුන්ගෙන් බහුතරයක් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.