නිවාස හිමිකම් ඔප්පු පනස්දහසක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැය යෝජනා යටතේ මෙම නිවාස හිමිකම් ඔප්පු ලබා දෙන බවයි.
හිමිකම් ඔප්පු ලබාදීමේදී නිවාස හිමියන්ට ඒ සඳහා දැරිය යුතු වන නොතාරිස් ගාස්තු, මුද්ල ගාස්තු හා වෙනත් බදු සඳහා වැයවන මුදල් මහා භාණ්ඩාගාරයෙන් දැරීමට නියමිත බව අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් යෝජනා කර තිබෙනවා.
මෙම නිවාසවල පූර්ණ අයිතිය පැවරීමේදී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට එම නිවසේ පදිංචිව සිටින ඔහුගේ උරුමකරුවන් වෙත පමණක් පූර්ණ නිවාස හිමිකම ලබාදියයුතු බව ද කැබිනට් පත්‍රිකාවේ සඳහන්.
මෙම කැබිනට් පත්‍රිකාවට මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ ලබාගැනීම සඳහා ඉදිරිපත්කර ඇති අතර හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට අදාල නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට නියමිතය.













