වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ලබන වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට 15%ක් ව තිබූ වැට් බද්ද 18%ක් දක්වා වැඩි කිරීමටත්, මෙතෙක් වැට් බද්දෙන් නිදහස්ව තිබූ භාණ්ඩ 97ක් මත අලුතින් වැට් බදු පැනවීමටත් යෝජිත වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත හරහා රජය අපේක්ෂා කරනවා.
අදාළ යෝජිත වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (10) දිනයේ දී ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වූ විවාදය අතර මඟ නතර කිරීමට සිදුවුණේ පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති වීම හේතුවෙන්.
පාර්ලිමේන්තු විශේෂ දිනයක් ලෙස නම් කරමින් ඊයේ (10) පෙරවරුවේ ආරම්භ වූ විවාදය පැය කිහිපයකට සීමා වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඝණ පූර්ණය නොමැති බවට පාර්ලිමේන්තුව දැනුවත් කිරීමෙන් පසුවයි.
මෙම තත්ත්වය මත නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුව අද (11) පෙරවරු 9.30 දක්වා කල් තැබුවා.




