චීන ආයෝජන මෙරටින් ඉවත්ව යෑම අතිශය විනාශකාරී තත්ත්වයක පෙරනිමිත්තක්

චීන සමාගමක් වන ‘චයිනා මර්චන්ට්ස් පෝට් හොල්ඩින්ග්ස්’ කොළඹ වරායේ ස්ථාපිත කිරීමට යෝජිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 392ක දැවැන්ත සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙන් ඉවත් වී තිබෙනවා.

මෙම අවලංගු කිරීමෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඩොලර් මිලියන 21.9ක වන්දි පියවීමේ ගිවිසුමකට එළඹීමට එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතිය මෙලෙස අත්හිටුවීමට තීරණය කළ බව අදාළ චීන සමාගම 2026 ඔක්තෝබර් 15 වන දින හොංකොං කොටස් වෙළඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී තිබුණා.

මෙම ව්‍යාපෘතිය අවලංගු වීමත් සමඟ අදාළ ඉඩම සඳහා නව ආයෝජන යෝජනා කැඳවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය අපේක්ෂා කෙරෙනවා.

මේ අතර චීන ආයෝජන මෙලෙස ඉවත්ව යෑම අතිශය විනාශකාරී තත්ත්වයට පෙරනිමිත්තක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සෘජු විදේශ ආයෝජන විශාල වශයෙන් ඉවත් කරගන්නා තත්ත්වයක එහි ප්‍රේක්ෂකයින් බවට පත්වනවාට වඩා, අප විසින් සැලකිය යුතු මට්ටමේ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගත යුතු බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

HSBC ලෝක සේවා මධ්‍යස්ථානය මෙරටින් ඉවත්ව පිලිපීනය වෙත ගෙන යාමට අවකාශ ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සෘජු රැකියා 3,000ක් සහ වක්‍ර රැකියා 500ක් අහිමි වන බවත් ඔහු අවධාරණය කරනවා.

මෙම ඉවත්වීම 2027 දෙසැම්බර් මස වන විට සම්පූර්ණ වීමට නියමිත බව දැනගන්නට ලැබී ඇති බවත් මෙය සත්‍ය තත්ත්වය නොවේවායි යන්න තමාගේ දැඩි අපේක්ෂාව බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසන්නේ.

එසේ වුවහොත්, එමගින් මෙරටට සැලකිය යුතු ආර්ථික පසුබැසීමක් ඇති කරනු ඇති බව ඔහු පෙන්වා දෙනවා.