තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් උඩවලව – තණමල්විල මාර්ගයේ ආරක්ෂක රාජකාරි කටයුත්තකට ගමන් කරමින් සිටියේ දී තණමල්විල, විජයපුර ප්‍රදේශයේ දී සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂා කිරීමට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා අසල පිහිටි ඉඩමකට පැන දිවගොස් ඇති අතර, ඔහු පසුපස පොලිස් නිලධාරීන් ලුහුබැඳ ගොස් ඇති බවයි වාර්තා වුණේ.
පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා ලුහුබඳින අතර වාරයේ ඉඩම තුළ අටවා තිබූ බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වී පොලිස් නිලධාරීයෙක් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරියා තණමල්විල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පියපුතු දෙපළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
මේ අතර වාකරේ, කට්ටමුරු ප්‍රදේශයේ දී සතුන්ට අටවා තිබූ බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කදිරවේලි ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු මේ වනවිට වාලච්චේන රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.














