ගල්කිස්සේ වෙඩික්කරුවන් පැහැරගත් යතුරුපැදිය සොයාගනී

ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලක හිමිකරුවෙකුට ඊයේ (20) දින රාත්‍රීයේ කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පලාගොස් ඇති අතර වෙඩි වැදීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම හෝටලයේ ආහාර ගනිමින් සිටි කාන්තාවක්ද තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 49 ක් වූ සොයිසාපුර, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ඝාතනය සඳහා ටී 56 ගිනි අවියක් යොදා ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර ඝාතනයට පැමිණි වෙඩික්කරුවන් නැවත පළා යමින් සිටින අතරතුර ඔවුන් ගමන්ගත් මෝටර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පිළියන්දල, සුවාරපොළ ප්‍රදේශයේදී එම මෝටර් රථය අතහැර දමා ඒ අසළින් ගමන්ගත් යතුරුපැදිකරුවෙකු බිය ගැන්වීමට අහසට වෙඩි තබා යතුරුපැදිය පැහැරගෙන පලාගොස් තිබෙනවා.

එලෙස පැහැරගත් යතුරුපැදිය සිද්ධමුල්ල ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කළා.