ඉදිරි කාලයේදී අඩු පීඩන කලාපයක් – වැසි වැඩි වීමක්

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 24 ක කාලය තුල අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ සහ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (21) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්‍රජාව ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද (21) දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, බොහෝ ප්‍රදේශ වල අහස වලාකුලින් බරව පවතිනු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන්.