ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අහවර කරන්නට ප්‍රධානත්වය ගත් හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පසු කාලයේදී දේශපාලනයටත් සම්බන්ධ වෙමින් ජනතාවට සේවය කළා. ඔහු ගැන අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය වෙන්නේ නැහැ, ඒ ඔහු ගැන නොදන්න කෙනෙක් නැති නිසා. ඔහු ගැන කතා කරන්න හොඳම චරිතය ඔහුගේ ආදරණිය බිරිඳ අනෝමා ෆොන්සේකායි. සමාජ සේවිකාවකද වූ ඈ ආදරණිය සැමියා ගැන අපිත් එක්ක කතාබහ කළේ මෙහෙමයි. මේ ඒ කතාබහ ගැනයි.
තිස් වසරක යුද්ධය අවසන් කිරීමට මුලිකත්වය හා නායකත්වය ගෙන කටයුතු කළ සෙන්පතියාගේ බිරිඳ ඔබ බව නොදන්න කෙනෙක් නැහැ, නමුත් ඔබ ගැන මුලින්ම කතා කරලම මේ කතාබහට ආරම්භය ගනිමු..?
මම පස්දෙනෙකුගෙන් යුතු පවුලේ පස් වැනි දරුවා. මට අක්කලා දෙන්නෙක් හා අයියලා දෙන්නෙක් ඉන්නේ. ලොකු අයියා ටික කලකට ඉහතදී මිය ගියා. මම ඉගෙන ගත්තේ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන්. මගේ අම්මගේ ගම මීරිගම. තාත්තා කොළඹ පදිංචි කෙනෙක්. ඒ නිසා අපි ජිවත් වුණෙත් කොළඹ තමයි.
ඔබේ වැඩිමහල් සහෝදරයාගේ මිත්‍රයෙක් තමයි ඔබේ ආදරණිය සැමියා, ඒ හිතවත්කම මත ගොඩනැගුණු ප්‍රේම සම්බන්ධයකින් නේද ඔබ ඔහු සමඟ විවාහ වෙන්නේ..?
අපි දෙන්නා විවාහ වෙන්නේ ප්‍රේම සම්බන්ධයකින් තමයි. අයියගේ යාළුවෙක් තමයි සරත් අයියා. ඔහු දවසක් අපේ ගෙදර ආවා රෑ කෑමකට. අක්කලා දෙන්නා මට වඩා ටිකක් වැඩිමහල් නිසා ඔහුට තේ එක දෙන්න සිදු වුණේ මට. ඒ වෙද්දී මගේ වයස අවුරුදු 16 සම්පුර්ණ වෙලාවත් නැහැ. මම සාමාන්‍ය පෙළ විභාගය කරලත් නැහැ.
මම පොඩි ළමයෙක් නිසා කවුරුත් හිතන්න නැතුව ඇති ඔහුත් එක්ක සම්බන්ධයක් ඇති කර ගනියි කියලා. ඒ වෙනකොට ඔහු Second lieutenant කෙනෙක්. මම මුලින්ම සරත් අයියව දකින්නේ එදා. ඊට පස්සේ අපි දෙන්නා අතර සම්බන්ධයක් ඇති වෙලා ආදරේ කළා. මගේ 16 වැනි උපන් දිනයට මට එයාගෙන් තෑග්ගක් ලැබුණා.
ඒ නිසා ඒ දවස මට තවමත් මතකයි. ඊට කලින් වර්ෂයේ මාර්තු අපි ආදරේ කරන්න පටන් ගන්නේ. ඊට පස්සේ අවුරුද්දේ ජනවාරි මාසේ 15 වැනිදා තමයි මගේ උපන් දිනේ තිබ්බේ.පසුව 1979 වර්ෂයේ අපි විවාහ වුණා.
එතුමා හමුදා නිලධාරියෙක් නිසා සැරපරුෂ කෙනෙක් වෙන්න ඇති කියලා ඔහුට ආදරය කරන්න බියක් හිතුණෙ නැද්ද..?
අයියගේ යාළුවෙක් නිසා අදටත් මම එතුමාට කතා කරන්නේ සරත් අයියා කියලා, එතුමා පාසලෙන් ඉවත් වූ ගමන්ම තමයි හමුදාවට බැදිලා තියෙන්නේ. 69, 70 වගේ. අපි මුණගැහුනේ 72 වර්ෂයේ. එතකොට තමයි අටේ කැරැල්ල දරුණුවට තිබ්බේ.
ඒ නිසා එතුමාගේ පුහුණුවීම් සම්පුර්ණ නොකරම අටේ කැරැල්ලට සටන් කරන්න සිදු වුණා. අනුරාධපුර, පොලොන්නරුව වගේ ප්‍රදේශවල තමයි සේවය කළේ. එතකොට ඔහු තරුණයිනේ. එහෙම සැරපරුෂ බවක් මම ඔහුගෙන් දැක්කේ නැහැ. අදටත් එහෙම සැරපරුෂ කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. නමුත් ඔහු හරිම නිහඬ කෙනෙක්. එදත් එහෙමයි අදත් එහෙමයි.
නමුත් එතුමා යුධ හමුදාපති ලෙස පත් වූ පසුව සමාජයේ රාවයක් පැතිරුණා ඔහු සැරපරුෂ කෙනෙක් කියලා..?
හොර බොරු වංචාව එයාට පෙන්නන්න බැහැ. වරදක් කළොත් ඔහුගේ දඬුවම තදයි. කිසිම විදිහකින් දඬුවම ලිහිල් කරන්නේ නැහැ . ඒ වැරදි කරන අයටනේ. මට වුණත් දරුවන්ට වුණත් එහෙමයි. ඒ නිසා කවදාවත් අපෙන් වරදක් වංචාවක් වෙන්නේ නැහැ. නිහඬව ඉන්න කෙනෙක් නිසා සැරපරුෂ ඇති කියලා හිතනවා ඇති. නමුත් කතා කරන කෙනෙකුට ඔහුගේ වෙනස තේරෙනවා.
යුද්දේ බිහිසුණුම කාලේ වෙන්න ඇති ඔබට එතුමාව මුණගැහෙන්නේ, ඇත්තටම ඔහුගේ ජිවිතේ ගැන බයක් දැනුණේ නැද්ද..?
අප්‍රේල් කැරැල්ල නිසා මුළු රටේම විටින් විට ඇඳිරිනීතිය දැම්මා. අපි හිටියේ කොළඹ. කොළඹත් එහෙමයි. මම පාසල් යනවා. එතුමා යුද්දෙක ඉන්නේ කියන හැඟීමක් මට ඒ කාලේ දැනුනේ නැහැ. පාසල් යන ශිෂ්‍යාවක් නිසා ඒ ගැන එතරම් හැඟීමක් තියෙන්න නැතුව ඇති. හැමදාම රෑට ඔහු මට දවසකට එක පාරක් කෝල් කරනවා.
ඔහුගේ දුක සැප මාත් එක්ක බෙදා ගත්තා. ඒත් ලොකු විස්තරයක් කියන්නේ නැහැ. අපේ අම්මත් අයියලාව එහෙම එළියටවත් යවන්නේ නැහැ හවස් කාලෙට. මොකද ඒ කාලේ තරුණ අය අල්ලාගෙන යන නිසා. ගැහැණු ළමයින්ට වඩා ඒ කාලේ පිරිමි ළමයින්ව පරිස්සම් කළා.
යුද්ධය අවසන් වීමත් සමඟ එතුමාට තිබුණු ගෞරවය වැඩි වුණා සියළු ජනතාවගේ හිත්වල, නමුත් ඔහුගේ ප්‍රතිරූපයට හානි වුණා කියලා හිතෙන්නේ නැද්ද දේශපාලනයට පිවිසීමත් එක්ක..?
එතුමා ඒ කාලේ දේශපාලනයට තදින්ම විරුද්ධ වුණු කෙනෙක්. කැමැත්තක් තිබ්බෙම නැහැ. නමුත් එතනට ඇදලා දැම්මා කියලා තමයි කියන්න තියෙන්නේ. දේශපාලනයට ඒමත් එක්ක තමයි ඔහු ප්‍රසිද්ධ වෙන්නේ. යුධ ජයග්‍රහණය බෙදා ගන්න ගොඩක් අය පොර කෑවා. එතුමා දේශපාලනයට ආවේ නැත්තම් ඔහු තමයි ලංකාවේ යුද්ධය අවසන් කරන්න මුලික වූ නිලධාරියා කියලාවත් ජනතාවට මතක නැති වෙන තරමට ඔහුගේ නම වැලලෙන්න ඉඩ තිබ්බා.
ඒ නිසා ඔහු දේශපාලනයට අවතීර්ණ වෙන්නේ. ඒ වගේම ආරාධනා කිහිපයක්ම ආවා දේශපාලනය කරන්න කියලා.
එතුමාගේ ගරුත්වය ගැන හිතලා දේශපාලනයට සම්බන්ධ වෙන්න එපා කියලා ඔබවත් තහනම් තහංචි දැම්මේ නැද්ද..?
මමත් ඔහු දේශපාලනයට යනවාට කැමති වුණේ නැහැ. නමුත් යුධ ජයග්‍රහණ ලබන්න ප්‍රධානත්වය ගෙන කටයුතු කළ එතුමාව යටපත් කරන්න බොහෝ දෙනෙක් කටයුතු කරනවා කියලා දැනගත්තම මම ඔහුට දේශපාලනයට අවතීර්ණ වෙන්න කියලා කිව්වා. කිසිම විදිහකින් ඔහුට මම බලපෑම් කළේ නැහැ. මට පුළුවන් උපරිම සහය එදා වගේම දේශපාලනයටත් මම ලබා දුන්නා. එතුමා දේශපාලනයට සම්බන්ධ වුනු එක හොඳයි කියලයි මම නම් අදටත් හිතන්නේ.
නමුත් දේශපාලනය නිසා එතුමා අඩන්තේට්ටම්වලට ලක් වුණා…?
එහෙම වුනා කියලා අපි පසුබහින්න නරකයි. එතුමා යුද්දේ දිනන්න කොයි තරම් නම් මහන්සි වුණාද, ජිවිතේ කැප කළාද කියලා මම තරම් දන්න කෙනෙක් තවත් නැතුව ඇති. ඒ වගේ මිනිසෙක්ව නිකම්ම මනුස්සයෙක් විදිහට වැළලිලා යන්න ඇයි ඉඩ දෙන්නේ. ඒ නිසා එතුමාගේ නම තවදුරටත් රැකගන්න එක මගෙත් යුතුකමක් කියලයි මම එදා හිතුවේ.
දරුණු යුද්ධයත් එක්ක ඔබේ සැමියා සටන් කරන කාලේ නිවාඩු ගත කරන්න නිවසට එන්න ඇත්තේ මාස තුන හතරකට වතාවක් වෙන්න ඇති, එවැනි පසුබිමක ගැහැණියක් විදිහට ඔබට කුටුම්භය රැකගන්න වෙහෙසක් ගන්න සිදු වෙන්න ඇති..?
ඇත්තම කිව්වොත් මට ගැහැණු ළමයි දෙන්නෙක් හිටපු එක ගැන මම එදා වගේම අද සතුටු වෙනවා, ඒක මට පහසුවක් වුණා. පිරිමි ළමයි දෙන්නෙක් හිටියා නම් අම්මා කෙනෙකුට ඒ දරුවන්ව හදන්න වෙන්නේ සීමාවකට. වයස මුහුකුරා යන්න යන්න පිරිමි දරුවන් අම්මගෙන් ඈත් වෙනවා. නමුත් මගේ දරුවෝ දෙන්නා දුවරුන් දෙන්නෙක් වුනු නිසා ඒ අය දුෂ්කරතාවලදී පවා මගෙත් එක්ක හිටියා.
අදටත් වෙනසක් නැහැ. දරුවන්ගේ උදව්වත් පවුල් ජිවිතේ සරත් අයියා නැතුව ගෙවන්න හේතුවක් වුනා. දරුවෝ දෙන්නත් කරදර වලට මුහුණ දුන්නා. නමුත් අපි ජිවිතේ ගෙව්වා. අද දරුවෝ දෙන්නා පිට රට ඉන්න එක ගැන මම සතුටු වෙනවා අම්මා කෙනෙක් හැටියට. මොකද දරුවන් ජිවත් වෙන්නේ ඒ නිසා. ඒ දෙන්නගේ ජිවිතත් නැත්තම් අනතුරේ. සතුරෝ දරුවෝ කියලා බලන්නේ නැතුව කාගේ වුණත් දරුවෙක් කියලා හිතන්නේ නැතුව සත්තු වගේ විනාශ කරලා දාන්න ඉඩ තිබ්බා.
සරත් ෆොන්සේකා කියන උතුම් පුද්ගලයාගේ බිරිඳ වීම ගැන ඔබේ හැඟීම..?
අපේ රටේ යුධ ජයග්‍රහණයේ පුරෝගාමියාගේ බිරිඳ වීම කොයිතරම් නම් ආඩම්බරයක්ද. ඒක නිහතමානි ආඩම්බරයක්. ඒ වගේ ස්වාමිපුරුෂයෙක් ලැබීම ගැන මට සතුටක් තියෙනවා. මගේ ස්වාමිපුරුෂයා හැටියටත් මම ඔහුට ගරු කරනවා.
එතුමා නිදහසේ කාලය ගත කරන්නේ කොහොමද..?
අපේ ගෙදර ඉන්නේ මමයි ඔහුයි විතරයි. අපි දෙන්නා රෑ කෑම මේසේ එකට වාඩි වෙලා කෑම ගන්නවා. මොන වැඩේ තිබ්බත් රෑ කෑම එකට ගන්න එක මඟහරින්නේ නැහැ. ඒ වෙලාවට කතාබහ කරනවා. එතුමා උදේට අනිවාර්යෙන්ම පත්තර ටික කියවනවා. රෑට නිව්ස් බලනවා. පොඩි හරි විවේකයක් ලැබෙන මොහොතක ඒවා තමයි කරන්නේ.
එතුමා සිරගත කළ මොහොතේ සමස්ථ ලංකාවම දැඩිලෙස කම්පාවට පත් වුණා, බිරිඳ හැටියට ඔබට ඒ මොහොතේ දැණුනු හැඟීම කොයි වගේද කියලා කියන්න අමාරු ඇති, ඒ අමිහිරි මතකය යළිත් මතක් කරමු..?
එදා මම ගෙදර හිටියේ, එතුමා කාර්යාලයේ හිටියේ. රෑ කෑම කන්න එයි කියලා මම බලපොරෝතුතුවෙන් හිටියා. එදා එන්න ටිකක් පරක්කු වුනා. මම හිතුවා කීයට හරි එයි කියලා. නමුත් ආවේ ඇමතුමක් විතරයි. එතුමා එක්ක මගේ අක්කගේ පුතා හිටියා. පුතා මට කතා කරලා කිව්වා බාප්පව හමුදාවෙන් අරගෙන ගියා කියලා. ඒ මොහොතේ ඇත්තම කිව්වොත් මම හිටියේ දැඩි කම්පනයක. මගේ සිහි කල්පනාවක් නොතිබ්බ තරම්. නමුත් මම මුලින්ම ඇමතුම් කිහිපයක් ගත්තා. මහා නායක හිමිවරුන්ට.
එතුමාට වූ සිද්ධිය දැනුවත් කළා. ඒ වෙනකොට එතුමාව කොහේ අරගෙන ගියාද කොහේ තියාගෙන හිටියද කියලා ආරංචියක් තිබ්බේ නැහැ. පැය 24කට පස්සේ තමයි දැනගත්තේ කොහෙද ඉන්නේ කියලා. රණවිරුවෙකුගෙන් මට ඇමතුමක් ආවා, මට කිව්වා මැඩම් කතා කරන්න එපා. මම කියන දේ විතරක් අහගෙන ඉන්න කියලා, මම කවුද කියලා අහන්න එපා සර් ඉන්නේ අහවල් තැන සර්ගේ ජිවිතේ බේරා ගන්න මොනවා හරි ඉක්මනට කරන්න, වෙලාවක් නැහැ, දැන්ම තීරණයක් ගන්න කියලා ඇමතුම විසන්ධි කළා. ඊට පස්සේ එතුමා ගැන කියලා තවත් ඇමතුමක් ආවා. මම නැවත එයට ඇමතුමක් ගත්තත් ප්‍රතිචාරයක් තිබ්බේ නැහැ.
ඊට පස්සේ මම ශිරන්ති රාජපක්ෂ මැඩම්ට කතා කරලා උදව් ඉල්ලුවා. එතුමිය මට උදව් කළා. මම එතුමාව බලන්න ගියා. වතුර උගුරක්වත් බිලා නැහැ. පැය 24ක් වතුර පොදක් නැතුව, කෑම නැතුව බෙහෙත් නැතුව හිටියේ. මම වතුර හා කෑම අරගෙන ගියා. එතන හිටපු රණවිරුවෙක් කිව්වා සර් තවම කාලා බිලා නැහැ කියලා. ඒ වෙලාවේ එතුමා මට කිව්වා මේ විදිහට මාව අරගෙන ආපු හමුදාව දෙන කෑම බිම ගන්නේ කොහොමද විශ්වාස කරලා කියලා. මම ගෙනියන කෑම බිම තමයි ගත්තේ.
මම පුදුමාකාර වේදනාවකින් හිටියේ එතුමාට වුනු කරදරය ගැන. මොකද වෙඩි වැදීම්, බෝම්බ ප්‍රහාරවලින් එතුමාගේ ශරීරයේ උණ්ඩ කොටස් තිබ්බා. එතුමා බෙහෙත් අරගනිමින් හිටියේ, ඒවා මඟ හැරුණොත් එතුමාට වේදනාව වැඩියි. අවශ්‍ය බෙහෙත් දෙන්න කියලා ඉල්ලීම් කළත් බෙහෙත්වත් දීලා තිබ්බේ නැහැ. ඒක භයානක හීනයක් වගේ මට දැනුනේ.
ඒ සිදුවීමෙන් තමයි මම නම් මිනිස්සු කවුද කියන ලොකුම පාඩම ඉගෙන ගත්තේ. ඇත්තම කිව්වොත් හෙට දවස ගැන හිතන්න බැහැ. අනාගතය ගැන සැලසුම් කරන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕන එතුමා වෙනුවෙන් බොහෝ පිරිසක් එදා හිටියා උදව්වට. නම් වශයෙන් නොකිව්වත්.
-හර්ෂණී වීරරත්න