ටිබෙටය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා සඳහා පවතින්නේ දීර්ඝ ඉතිහාසයකි. දෙරට අතර සබඳතා වෙනුවෙන් පදනම වැටී ඇත්තේ බුදුදහම මතින් බව පැවසීම සම්පුර්ණ සත්‍යයකි. ඉතිහාස වාර්තාවලට අනුව , 11වැනි සියවසේදී ලංකාවේ මලය රටේ උපත ලැබූ පද්මසම්භව නම් භික්ෂූන්වහන්සේ නමක් නාලන්දා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සඳහා ඉන්දියාවට පැමිණ ඇතැයි අතීත වාර්තා සඳහන් කරයි. ඉන්දියාවේ වාසය කළ ශාන්ත රක්ෂිත භික්ෂුවද ටිබෙට් රටට බුදු දහම රැගෙන යන්නේ මේ වකවානුවේදීමය. එලෙස බුදුදහම රැගෙන යෑමට, එවකට ටිබෙටය පාලනය කළ රජුගෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබුණද, ඒ වන විටත් එරට පැවැති සාමප්‍රදායික “ බොන් ” ආගමේ අනුගාමිකයන්ගෙන් බුදුදහමට විශාල හිරිහැර සහ බාධා එල්ලවී තිබේ.
එහිදී ශාන්ත රක්ෂිත හිමිටන් ටිබෙට් පාලකයාට යෝජනා කර ඇත්තේ, ඒ වන විට නාලන්දා විශ්වවිද්‍යාලයේ වාසය කළ තන්ත්‍ර ශාස්ත්‍රය ගැන ප්‍රවීණ දැනුමක් ඇති පද්මසම්භව භික්ෂුන්වහන්සේගෙන් උපකාර ලබාගැනීම වඩාත් සුදුසු බවටයි. ඒ අනුව ටිබෙටයේ ආරාධනයට අනුව පද්මසම්භව භික්ෂුන්වහන්සේ එරටට පැමිණි අතර, ටිබෙටයේ බුදුදහම ව්‍යාප්ත කිරීමට අඩිතාලම දමනු ලැබුහ. එමනිසා ටිබෙට් ජාතිකයන් අදටද විශ්වාස කරන්නේ සිය රටට බුදුදහම පැමිණියේ ‘ලංකාවෙන්’ බවයි.
“ බෞද්ධයෙක් වීමට උත්සාහ නොකරන්න. මේ ලෝකයට බෞද්ධයන්ගේ හිඟයක් නැත. කරුණාවන්ත වීමට නිතරම උත්සාහ කරන්න. මන්ද ලෝකයට කරුණාව යන ගුණාංගය ඉතාම අවශ්‍යවේ.”
මේ, අප මෙම ලිපිය ආරම්භ කළ ටිබෙටයේ, අදටද නායකයා ලෙස සළකන දලයි ලාමාතුමාගේ වදන්ය. ලොව ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික නායකයකු ලෙස සැලකෙන දලයි ලාමාතුමන්ගේ යනු ටිබෙටයේ නිර්මාණයක් වුවද, අද වන විට ලෝකයෙන් බහුතර ප්‍රජාවක් එතුමන්ගේ ඉගැන්වීම් සහ ජිවන දර්ශනය පිළිගන්නා තැනට පැමිණ තිබේ. ඊට හේතුව දලයි ලාමාතුමන් නිරන්තරයෙන් දේශනා කරන සහ තමන් විසින්ම ප්‍රදර්ශනය කරන අවිහිංසාවාදී ජිවන පිළිවෙතයි.
“ මිනිසත් අපේ අරමුණ විය යුත්තේ අන්‍යයන්ට උදව් කිරීමයි. එසේ කළ නොහැකි නම් අපට කළ හැකි අවමය වන්නේ ඔවුන්ට හිංසා නොකිරීමයි. “
එතුමන්ගේ මෙම කියමන ඔස්සේ එම අවිහිංසාවාදී පිළිවෙත තවදුරටත් තහවුරු වන බව දැකගත හැකිය. දලයි ලාමාතුමන් මේ මේ වන විට වාසය කරන්නේ ඉන්දියාවේය. මීට මාස කිහිපයකට පෙර අපට අසන්නට ලැබුණු පුවතක් වූයේ දලයි ලාමාතුමන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනයක් සිදුකෙරී ඇති බවයි. එම ආරාධනය කර තිබුණේ, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ බුද්ධගයාවේ සංචාරය කළ ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ බෞද්ධ දූත පිරිසක් විසිනි. කෙසේවෙතත් චීනයේ දැඩි බලපෑම මත, දලයි ලාමාතුමන්ට, අදාළ ආරාධනයට අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි විය. ටිබෙටය බලහත්කාරයෙන් පාලනය කරන චීනය, මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධානම ණයහිමියා බවට පත්ව සිටින නිසා, ඒ මොහොතේ ශ්‍රී ලංකාවේ පාලකයන් චීනයේ බලපෑමට නතුවූ බව දකින්නට ලැබිණි.
එම අවස්ථාවේ දලයි ලාමාතුමන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව උදානොවූවද, අදාළ ආරාධනය සිදුකිරීමට ශ්‍රී ලංකික දූත පිරිස බුද්ධගයාවේ සංචාරය කළ අවස්ථාවේ තවත් සුවිශේෂී කර්තව්‍යයක් සිදුවිය. එනම්, එහිදී පාලි සහ සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ සමාරම්භය නිල වශයෙන් සනිටුහන් කෙරිණි. මෙම සුවිශේෂී අවස්ථාවට අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන්, අතිපූජ්‍ය සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය මහා නායක සියම් මහා නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ නියෝජ්‍ය සභාපති අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අනුනායක හිමිවරු ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූහ. එසේම ‘පාලි සහ සංස්කෘත භාෂා වෙනුවෙන් ‘සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයක්’ පිහිටුවීමේ නිල තීරණය එහිදී ගනු ලැබීය.
මෙවැනි සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයක් වෙතින් අපේක්ෂා කරන අරමුණු කිහිපයක්ම වෙයි. පාලි සහ සංස්කෘත බෞද්ධ ග්‍රන්ථ වෙත යොමු වීමට උනන්දුවක් දක්වන උගතුන්ට පැරණි භාරතීය දැනුම ලබාගැනීමේ අවස්ථාව සලසා දීම ඒ අතුරින් ප්‍රධාන වේ. බෞද්ධ ග්‍රන්ථ, ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍යයෙන් පර්යේෂකයන්ට තම පර්යේෂණ කටයුතුවල භාවිත කිරීමට පහසුකම් සැලසීම තවත් අරමුණකි. ඊට අමතරව, සම්ප්‍රදායන් දෙකම අතර ඇති හිඩැස් නැති කරමින් සියලු බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානවල පහසුකම් ලබන්නන්ට අන්තර් ක්‍රියා කිරීමට/ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට සහ සමාන්තර තේරුම් ගැනීමට උපකාර කිරීම, ශ්‍රී ලාංකිකයන්ට සංස්කෘත සම්ප්‍රදාය ඉගෙන ගැනීමට ලෝකවාසී බෞද්ධයන්ට විවෘත අවකාශයක් සැලසීම සහ පාලි සහ සංස්කෘත සම්ප්‍රදායන් අතර අවබෝධය හා දැනුවත් කිරීම සඳහා අවස්ථාව සලසා දීම අනෙකුත් අරමුණු ලෙස හඳුනාගෙන ඇත.
අනෙක් අතට ථෙරවාදී ග්‍රන්ථය ලියැවී ඇත්තේ පාලි භාෂාවෙනි. මහායාන සාහිත්‍යය රචනාවී ඇත්තේ සංස්කෘත භාෂාවෙනි. එබැවින් බුදුන්ගේ ඉගැන්වීම් සංස්කෘත සහ පාලි යන ප්‍රධාන භාෂා දෙකෙන්ම පරිවර්තනය කර ඇති බව පැහැදිලිය. වාචිකව පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි ථෙරවාදී බුදුදහම ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වීමේදී ‘ත්‍රිපිටකය’ ‘පාලි’ භාෂාවෙන් සටහන් කරනු ලැබීය. මේ අතර ‘ප්‍රඥාපාරමිතා සූත්‍රය’ වැනි බොහෝ මහායාන සූත්‍ර සංස්කෘත භාෂාවෙන් විවිධ ලේඛන ආශ්‍රිතව රචනා විය. සාහිත්‍ය අරමුණු සඳහා සම්භාව්‍ය සංස්කෘත බෞද්ධ භාවිතය ‘බුද්ධචරිත’ කතුවරයා සහ මුල්ම සංස්කෘත නාට්‍යකරුවන්ගෙන් කෙනෙකු වූ, මහාසාංඝික බෞද්ධ දාර්ශනිකයෙක්ද වූ අශ්වඝෝෂ හිමියන් [ක්‍රි.ව. 100] සමඟ ආරම්භ වූවා යැයි සැලකේ. නාගාර්ජුන, ආර්යදේව, අසංග, වසුබන්ධු, දිග්නාග, ස්ථිරමති, ධර්මකීර්ති, භවිවේක, චන්ද්‍රකීර්ති ආදී බෞද්ධ චින්තකයෝ ද සංස්කෘත භාෂාවෙන් රචනා කළහ.
බුද්ධ දේශනාව මේ ආකාරයට විවිධ භාෂාවලින් රචනා කිරීම යම්කිසි ආකාරයක බෙදීමකි. එම බෙදීම න්‍යායික කරුණුවල සුළු වෙනස්කම් සහ ‘විනය’ සම්බන්ධ කාරණාවලදී පරස්පර තර්ක නිර්මාණය කර ඇත. වසර දහස් ගණනක් තිස්සේ නිර්මාණය වී ඇති එම හිඩැස අවම කර ගැනීමට කටයුතු කිරීමේ වගකීමක් බෞද්ධයන් සතු වේ. මෙහි කියන පාලි සහ සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ එක් අරමුණක් වන්නේ මෙම හිඩැස පිරවීමයි.
මෙම ලිපියට ප්‍රස්තුත වන ටිබෙට්-ලංකා බෞද්ධ සබඳතා, දලයි ලාමාතුමන්ගේ ආරාධනා සහ අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන යන ප්‍රධාන කාරණා ත්‍රිත්වයේ කුඨප්‍රාප්තියක් වැනිවූ අවස්ථාවක් පසුගියදා සනිටුහන් කෙරිණි. එනම්, ටිබෙටය නියෝජනය කරමින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට විශේෂ සංචාරයක් සඳහා පැමිණීමයි.
විශේෂයෙන් ඉන්දියාවේ බුද්ධගයාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ කොටසක් ලෙස මෙහි පැමිණි මෙම ටිබෙට් බෞද්ධ නියෝජිත කණ්ඩායම 2023 මැයි 02වැනිදා සිට මැයි 17වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට යමින්, ආගමික සහ සංස්කෘතික අත්දැකීම් හුවමාරු කරගැනීමට අපේක්ෂා කරයි. තවත් අතකින් සිය අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමාතුමන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වුවද, උන්වහන්සේගේ ඉගැන්වීම් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව තුළ සාමය පිළිබඳ පණිවිඩය ප්‍රවර්ධනය කිරීමද මෙම ටිබෙට් බෞද්ධ නියෝජිත පිරිසගේ සංචාරයේ අරමුණකි.




