ඕනෑම ආකෘතියේ තරගයක දී නිපන්දු යැවීම අපරාධයක් බව ඉන්දීය නායක හර්දික් පාණ්ඩ්‍යා සඳහන් කරනවා.
තරගයෙන් පසු පැවති සම්මුඛ සාකච්ඡාවේ දී පාණ්ඩ්‍යා මේ බව පවසා සිටියා.
තමන් මෙලෙස සඳහන් කරන්නේ අර්ෂ්දීප් සිංට දොස් පැවරීමට නොව මෙම තරුණ වේග පන්දු යවන්නා ආපසු ගොස් ඔහුගේ මූලික වැරදි නිවැරදි කළ යුතු බවට දන්වමින් බවයි පාණ්ඩ්‍යා වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1-1ක් ලෙස සම කරද්දී ඉන්දියාව දෙවැනි විස්සයි විස්ස තරගය ලකුණු 16 කින් පරාජයට පත් වුණා.
මේ අතර ඊයේ තරගයේ දී ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර, ඔහු යැවූ පන්දුවාර 02 තුළ දී ලකුණු 37ක් උදුරා ගන්නට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාව ලැබුණා.
අර්ෂ්දීප් සිං ඊයේ දිනයේ දී නිපන්දු පමණක් 05ක් යොමුකළ අතර, ඔහුගේ පන්දුවාර 02 තුළ හතරේ පහර 03ක් සහ හයේ පහර 02ක් ද ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් එල්ල කරනු ලැබුවා.
“ඔබට හොඳ දවසක් ගත කළ හැකිය, ඔබට නරක දවසක් ගත කළ හැකිය, නමුත් ඔබ මූලික කරුණු වලින් ඉවත් නොවිය යුතුය. අර්ෂ්දීප්ට මෙම තත්ත්වය තුළ එය ඉතා අපහසුයි. අතීතයේදී ද ඔහු නොබෝල් යවා තිබෙනවා.”
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාණ්ඩ්‍යා පවසා සිටියේ පන්දුවට පහරදීමේ දී ඉන්දියාව පවර්ප්ලේ අවස්ථාවල දී අවශ්‍ය ලකුණු මට්ටමට නොපැමිණෙන බවයි.
“පන්දු යැවීමේ දී සහ පිතිකරණයේ දී, පවර්ප්ලේ අපට අමාරු වුණා. අපි මේ මට්ටමේදී නොකළ යුතු මූලික වැරදි කිහිපයක් කළා, හැමෝම දන්නවා ඒ මොකක්ද කියලා. අපිට පාලනය කරන්න පුළුවන් දේ ගැන අපි අවධානය යොමු කළ යුතුයි. ” ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
එමෙන්ම ඊයේ තරගයේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිකරගත් රාහුල් ත්‍රිපාති අංක තුන ස්ථානයේ පිතිකරණයට එවීම සම්බන්ධයෙන් ද පාණ්ඩ්‍යා අදහස් දක්වා සිටියා.
“රාහුල් අංක 03 ක්‍රීඩා කිරීමට පුරුදු වී සිටින කෙනෙක්, කවුරුන් හෝ කණ්ඩායමට පැමිණෙන විට, ඔවුන්ට පහසු භූමිකාවක් ලබාදීමට අපට අවශ්‍යයි. ඒ නිසා ඔහු අංක 03 පිතිකරණයට කැඳෙව්වා.”