පීඩන අවපාතය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන්කිරීමේ අවදානමක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 370ක් ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන්කිරීමේ හැකියාවක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දක්වා සිටින්නේ.

මේ හේතුවෙන් දෙසැම්බර් මස 24 සහ 25 යන දිනයන්හි දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව සඳහන්.

මේ අතර අද (23) දිනයේ උතුරු, නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

සෙසු ප්‍රදේශවල අද (23) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වාසිය ඇතිවිය හැකි අතර, උතුරු නැගෙනහිර බස්නාහිර සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්