පාර අයිනේ සිටි පාසැල් සිසුවා අවසන් ගමන් යැවූ මාරක රිය අනතුර

(21) වන දින උදෑසන අරණායක – හොරේවෙල සැලව මාර්ගයේ රහල බටහිර රජයේ බෙහෙත් ශාලාව අසල වංගුවේදී සැලව සිට අරණායක දෙසට ධාවනය වූ ලංගම බස්රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ රැදි සිටි පාසල් සිසුවකුගේ ද ගැටීමෙන් පසු ඉදිරියට ද ධාවනයවී අසල තිබූ අඹ ගසක ද ගැටී අනතුරක් සිදුව ඇත .

අනතුරින් පාසල් සිසුවා බස් රථය සමග ඇදී ගොස් අඹගසට හා බසය අතර සිරවීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇත .

අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් 14 ක් තුවාල ලබා අරණායක හා මාවනැල්ල රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසු නේවාසිකව ප්‍රතිකාර ලබයි .

මියගිය පාසල් සිසුවා වයස අවුරුදු 14 ක් වූ රහල බටහිර , අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු ඥාතීන් වෙත භාරදී ඇත .

බස්රථ රියදුරුගේ අපරික්ෂාකාරි හා නොසැලකිලිමත් රිය පැදවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත . සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .