AFC Banner
Empty Ad
Empty Ad

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලි දිනය අදයි

හින්දු ප්‍රජාවගේ අතිශය වැදගත් ආගමික උත්සව දිනයක් වන දීපාවලි දිනය අදයි. අයහපත පරදා යහපත ජයගත් දිනය ලෙසද ඔවුන් අද දිනය සළකනවා.

චන්ද්‍ර දින දර්ශනය යනු හින්දු භක්තිකයින්ට විශේෂ වූ දින දර්ශනයක්. ඒ අනුව හින්දූන්ගේ නව වසරේ ආරම්භය අද දිනයේ සනිටුහන් වනවා. ඒ අනුවයි ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයින් අද මහත් හරසරින් දීවාලි නැතහොත් දීපාවලී උත්සවය සමරනු ලබන්නේ. අඳුර පලවා හැර නව ආලෝකයක් උදා වන දිනය දීපාවලී දිනය ලෙස ද හැඳින්වෙනවා. නව ආලෝකය සනිටුහන් කිරීම සඳහා හින්දු බැතිමතුන් අලුත් පහන් දල්වා දෙවියන්ට පූජා පවත්වා සිය නිවෙස් ආලෝකවත් කරන්නේ යහපත සංකේතවත් කිරීම උදෙසායි.

ගණඳුර පළවා හරින්නට හැකි වන්නේ ආලෝකයට පමණයි. එය ලෝකයේ පවතින සදාතනික ධර්මතාවයක්. ආලෝකය වනාහි මුළු ජීවයම ප්‍රබෝධයට පත් කරවන්නක්. ඇසට පෙනෙන ආලෝකය පමණක් නොව මිනිස් ජීවිතය අභ්‍යන්තරයේ තිබෙන ආලෝකය මතු කර ගැනීම පිළිබඳව ලෝකයේ බොහෝ ආගම් කතා කරනවා. එය වඩා දර්ශනීය ලෙස ලොවට ප්‍රදර්ශනය කෙරෙන හින්දු භක්තිකයින්ගේ ඉහළම සංස්කෘතික උත්සවය වන්නේ දීපාවලි උත්සවයයි. හින්දු භක්තිකයන්ට අනුව දීපාවලි උත්සව සැමරුම වසර 35000 කට පෙර සිට පැවත එන්නක්.

හින්දු ජනතාවගේ ආගමික උත්සව බහුතරයක් ආලෝකය සමඟ බැඳී පවතිනවා. ඔවුන්ගේ දෛනික ජීවිත ප්‍රාර්ථනා සමඟ මුසුව එන මේ ඇදහීම් අතිශය විචිත්‍රයි. ආලෝකය සහ අඳුර පිළිබඳ සංකල්ප ආගමික මතයක් තුළින් අපට පෙන්වන්නට ඔවුන් සමත් වී ඇති අතර හින්දු ආගමිකයන් උත්සව සම්බන්ධයෙන් දක්වන මේ ලෝලත්වය නිසාම ඔවුන්ගේ සංස්කෘතික හැඟීම් ඉතාම පහසුවෙන් ලෝකයේ වෙනත් රටවල් කරා ද ව්‍යාප්තව තිබෙනවා. දීපවාලි උත්සවය ද එවැන්නක්.

ඔවුන්ගේ මේ ඝනඳුර දුරලා ආලෝකය ලබා ගැනීම හුදෙක් භෞතික ජීවිතය සන්තර්පනය කරන්නක් නොවන අතර එහි ඊට වඩා ගැඹුරු දාර්ශනික අර්ථයක් පවතිනවා. මිනිස් ජීවිතයේ නපුර සහ වේදනා දුරලා ආලෝකය නම් සංතෘෂ්ටිය කරා එළැඹීමට ඔවුන් තැත් කරනවා. හින්දූන්ගේ සෑම සැමරීමකටම අනන්‍ය පසුබිම් කතන්දර සහ ආගමික වතාවත් රාශියක් ද පවතිනවා. බහු වාර්ගික, බහු ආගමික නිදහසක ජීවත් වන ඔවුන් තමන් අදහන කුමන ආගමක් විෂයේ වුව අතිශය භක්තිමත්. මේ අනුව ගත් විට දීපවාලි යනු ඔවුන්ගේ සශ්‍රීකම සංස්කෘතික උලෙළයි.

දීපවාලි උත්සවය සබැඳිව මතිමතාන්තර ‍රැසක් වනවා. ලක්ෂ්මි දෙවියන්ගේ උපන් දිනය ලෙස මෙන්ම විෂ්ණු දෙවියන් විසින් ලක්ෂ්මිය බේරාගත් දිනය ලෙස ද එක් මතයක්. එමෙන්ම ක්‍රිෂ්ණ දෙවියන් විසින් නරකාසුර මරා දැමූ දිනය ලෙසත් තවත් තැනෙක සඳහන්. ජෛන ආගමේ නිර්මාතෘ ජෛන මහාවීර නිර්වාණාවබෝධය ලැබූ දිනය ලෙසත් තවත් මතයක් පවතිනවා.

හින්දූ බැතිමතුන්ගේ චන්ද්‍ර දින දර්ශනයට අනුව ඔවුන්ගේ නව වසර ඇ‍රැඹෙන්නේ ඔක්තෝබර මාසයේදී යි. ඔක්තෝබර් මැද සිට නොවැම්බර් මැද තෙක් එක් දිනයක් දීපවාලී උත්සවය පැවැත්වීමට නියම කර ගනු ලබනවා. එය චන්ද්‍රයාගේ පිහිටීම අනුව වෙනස් වනවා. මේ වසරේ එම දිනය නොවැම්බර් 12 වනදාට යෙදී තිබෙනවා. සාමාන්‍යයෙන් දින පහක් මුළුල්ලේ දීපවාලී උත්සවය සැමරෙන අතර වසර 35000ක් පමණ පැ‍රැණි මේ සැමරුම වටා බැඳුණු රසවත් අතීත කතා රාශියක් පවතිනවා. ඒවා අතරින් වඩාත් ප්‍රකට අසුරයන් පරදවා සුරයන් ජයග්‍රණය කිරීමේ සංසිද්ධියයි. ලෝකයට යහපත උදා වීම භක්තිය නමැති පහන දල්වා සැමරීමට සිතීම ජනිත කරවන්නේ පහන් හැඟීමක්.

දිපාවලිය සැබවින්ම ආලෝක පුජාවක්. නිවෙස් තුළ මෙන්ම නගර මුළුල්ලේ ම දහස් ගණන් පහන් දල්වා ආලෝකවත් කිරීම මෙම උත්සවයේ ප්‍රධානතම අංගයක් වනවා. දීපාවලී උත්සවය ජාතික උත්සවයක් ලෙසත්, එය ලොව අඳුර නසා ආලෝකය උදා කරවන්නක් ලෙසත්, අඥානය නැති කොට ඥානය පහළ කරන උත්සවයක් ලෙසත් හින්දු භක්තිකයින් සලකනවා. දීපවාලී උත්සවයේදී ලොව අඳුර නසා ආලෝකමත් කිරීම වෙනුවෙන් නිවෙස්වලත් ගම් නගරවලත් දහස් ගණන් පහන් දල්වන්නේ මිනිස් ජිවිත වලද ආත්මික ආලෝකයක් ඇති කිරීමේ සංකේතයක් ලෙසටයි.

සිය දහස් ගණනින් පහන් දල්වා, ගෙවල් ඇතුළත බිම මෙන්ම එළිමහනේ ද කෝලම් ආදිය ඇඳ දීපවාලි උත්සවය සැමරීම සිදු කෙරෙනවා. හින්දු බැතිමතුන් මේ වෙනුවෙන් ලක ලැහැස්ති වන්නේ සතියක පමණ කාලයක සිටයි.

හින්දු සංස්කෘතිකාංග අතර ප්‍රධාන තැනක් ගන්නා කෝලම් රටා යනු ඉතාමත් අලංකාර මෙන්ම සියුම් නිර්මාණයක්. වර්ණගන්වන ලද සහල්, සහල් පිටි හෝ වර්ණවත් මල් පෙති භාවිතයෙන් සිදු කරනු ලබන මෙම කෝලම් රටා ඇඳීම වැඩි වශයෙන් සිදුවන්නේ හින්දු තරුණියන් අතින්. මනා සංයමයකින් යුතුව අඳිනු ලබන මෙම කෝලම් සඳහා මල් භාවිත කරන්නේ සුවඳ එක් කිරීම සඳහා ය. නමුත් බහුල වශයෙන් භාවිත කරනුයේ වර්ණ ගන්වන ලද සහල් සහ සහල් පිටිය. එලෙසින් සහල් පිටි භාවිත කිරීමේ අරමුණ වන්නේ එමගින් අලංකාරයක් එක් කිරීම මෙන්ම කූඹින් වැනි කුඩා සතුන් හට ආහාරයක් වශයෙන්.

ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට ශීත කාලය නිල වශයෙන් එළැඹෙන්නේ දීපවාලි උත්සවයත් සමඟයි. දීපවාලි දා තැන් තැන්වල තැනෙන ගිනි ගොඩවල් වටා චායි බොමින් සාද කතා පැවැත්වීම නව දිල්ලියේ නම් සුලබ දසුනක්. ගණන් කළ නොහැකි තරමේ පහන් දල්වන නව දිල්ලි වැසියෝ ඒ වෙනුවෙන් අප්‍රමාණ ගිනි කෙළි ද පවත්වනවා. නිලා වර්ග ආදියෙන් පටන් ගෙන නොයෙකුත් විචිත්‍ර මාධ්‍ය දල්වන ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආලෝකය වෙත එළැඹෙනවා.

අහස පුරා විසිරෙන මල් වෙඩි සංඛ්‍යාව ද ඉතා ඉහළයි. එසේම ලාංකිකයන් විසින් දීපවාලි කියා හැඳින්වූවාට මේ උත්සවය ඉන්දියානුවන් හඳුන්වන්නේ දීවාලි නමින්.

ජීවිතයේ අයහපත පලවා හැර යහපත ළං කරගැනීම දීපවාලි උත්සවයේ විශේෂ අංගයක් වන බැවින් හින්දු බැතිමතුන් විසින් මුලින්ම ගේදොර මනාව පිරිසිඳු කිරීම සිදු කරනු ලබනවා.

මෙලෙස අනවශ්‍ය දේ ඉවත් කොට නිවෙස් මනාව පිරිසිඳු කිරීම තුළින් නිවසේ ජීවත්වන අය‍ට පවිත්‍රතාවය ළඟා වන බව විශ්වාස කෙරෙනවා.

රාමා දෙවියන්ගේ ජිවිත දැක්ම තුලින් පිළිබිඹු වන ඉවසීමේ ගුණය තම ජීවිත තුලින් මෙනෙහි කොට ප්‍රගුණ කරන්නට හින්දු භක්තිකයින් මෙය අවස්ථාවක් කරගන්නවා.

දීවාලි සඳහා විශේෂයෙන් පිළියෙළ කළ රස කැවිලි නෑදෑ හිත මිතුරන්, අසල්වාසීන් ආදිය සමඟ බෙදාගැනීම තුලිනුත් මෙදින දුප්පතුන් සමඟ තමන් සතු දේ බෙදා හදා ගැනීම තුලිනුත් හින්දු භක්තිකයින් බෙදාහදා ගැනීම මේ විශේෂ දිනයේ සිදු කරන්නට අමතක කරන්නේ නැහැ.

දීපවාලි උත්සවය සැමරීම සඳහා බැතිමතුන් අලුත් බඩු භාණ්ඩ වලින් නිවෙස් අලංකාර කිරීමටත් නව වස්ත්‍රාභරණ වලින් සැරසිමටත් ප්‍රිය කරනවා. බොහෝ ව්‍යාපාරිකයින් නව ගිණුමක් ආරම්භ කිරීම ද බොහෝ විට මේ දිනයේ සිදු කරනවා.

හින්දු බැතිමතුන් මේ විශේෂ දිනයේ රාමා දෙවියන්ටත් සීතා දේවියටත් තම ජිවිත දුෂ්කරතාවලට නිසි ලෙස මුහුණ දී ඔවුන් ආශීර්වාද කර නිවැරදි මග පෙන්වන ලෙස යාතිකා කරනවා.

දීපවාලි උත්සවය වටා බැඳුණු තවත් සංස්කෘතික අංග ද රාශියක් පවතිනවා. විවිධ කැවිලි වර්ග මෙකල අතිශය ජනප්‍රියයි. එවෙලේම තනා දෙන පැණි වළලු අනිවාර්ය අංගයක්. ගුලාබ් ජමූන්, රස්ගුල්ලා, ලඩ්ඩු, ගාජර් කා හල්වා, පයාසාම්, ජලේබි ආදී රස කැවිලි දීපවාලි උත්සව කාලයේ බහුලව දැකිය හැකියි. මේ රස කැවිලි ඇසුරුම් සමඟ නෑදෑ, හිත මිත්‍රයන් බැලීමට යෑම තවත් චාරිත්‍රයකි. සෑම තැනකම විකිණීම පිණිස තබා තිබෙන පිච්ච මල් මාලා හිස ගසමින් කාන්තාවන් කෝවිලට ගමන් කරන්නේ මහත් භක්තියකින්.

සුගන්ධවත් දේ හිස සැරසීමට භාවිත කිරීම හින්දු බැතිමතුන් අතර යුග ගණනාවක සිටම ප්‍රකට දෙයක්. පොංගල් බත් ඉවීමත්, අසල්වැසියන්ට පොංගල් බත් සමඟ රස කැවිලි ගෙනැවිත් දී ‘සුබ දීවාලි උත්සවයයක් වේවා!”යැයි පැතීම සාමාන්‍ය සිරිතයි. ඉන්දියානුවන්ගේ සැබෑ දීපවාලි උත්සවශ්‍රීය නැ‍රැඹිය හැක්කේ රාත්‍රිය උදාවීමත් සමඟයි. එනම් ආලෝකයේ උත්සවය පටන් ගන්නේ අඳුර එළැඹීමත් සමඟ වීම හේතුවෙන්. චාරිත්‍ර විධි අතර සුළු වෙනස්කම් සහිතව විවිධ රටවල දීපවාලි උත්සවය සැමරෙනව. ශ්‍රී ලංකාව ආශ්‍රයෙන් ගත් විට පොංගල් බත් සෑදීම ඇතුළු විවිධ රස කැවිලි සෑදීමත් කෝලම් ඇඳීමත් වඩාත් ප්‍රකටයි. අලුත් ඇඳුමින් සැරසී කෝවිල් කරා යන හින්දු භක්තිකයෝ දෙවියන් උදෙසා පුද පූජා පවත්වනවා. ඒ තමන්ටත්, ලෝකයටත් යහපත උදා වනු ඇතැයි බලාපොරොත්තුවෙන්.

ලොව පුරා හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය සැමරීම සිදු කළත් ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන සැමරීම වෙන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දයි. හින්දු භක්තිකයින්ගේ ප්‍රධාන සැමරීම් තුන වෙන්නේ හින්දු අලුත් අවුරුද්ද, පොංගල් සහ දීපාවලී උත්සවයයි.

ඉන්දියාවේ හින්දු භක්තිකයින් සහ ශ්‍රී ලංකාවේ සිටින හින්දු භක්තිකයින් දීපාවලි උත්සවය සමරන ආකාරය මෙන්ම චාරිත්‍ර වාරිත්‍ර වෙනස් ස්වභාවයක් ගන්නවා. මෙරට බෞද්ධ සහ හින්දු ආගමිකයින්ගේ දීර්ඝ කාලයක් පුරා පැවතගෙන එන ආගමික සංස්කෘතික සම්බන්ධතාවය හේතු කොට ගෙන අලුත් අවුරුදු සැමරීමේ දී මෙන්ම ඇතැම් ආගමික චාරිත්‍ර වාරිත්‍රවල ද බොහෝ සමානකම් දක්නට ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?