එළඹෙන උත්සව සමයේ විකිණීම සඳහා ගබඩා කර තිබියදී පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන හාල් කිලෝග්‍රෑම් 7490 අදාළ විත්තිකරුවන්ට නිදහස් නොකරන්නේ නම්; එම සහල් අලෙවි කර අදාළ මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (17) පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කළා.
කොළඹ යෝන් වීදියේ වෙළෙඳසැල් හිමියෙකු වන ජුම්ෆර් නමැත්තකු සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන ඇති ‘සඳුන් කීරි’ සම්බා කිලෝග්‍රෑම් 05 ඇසුරුම් 598ක් හා කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියෙකු වන රාම්සාන් නමැත්තෙකු සතුව තිබියදී අත්අඩංගුවට ගෙන ඇති ‘අරලිය ප්‍රිමියම්’ සහල් කිලෝග්‍රෑම් 900 සම්බන්ධයෙන් එසේ නියම කෙරුණා.
තම අධිකාරිය වෙත ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී එම සහල් තොගය අත්අඩංගුවට ගත් බව ද එම අධිකාරිය අධිකරණයට දැනුම්දුන්නා.
විත්තිකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී එම සහල් තොගය එළඹෙන උත්සව සමයේ දී විකිණීම සඳහා සූදානම් කර තිබූ බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූවා.